June 16, 2025

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපය මොහොතින් මොහොත උණුසුම් වෙමින් තිබේ.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කර විශාල ප්‍රහාර මෙහෙයවීමට ඊශ්‍රායල හමුදාව සූදානම් වන බවයි.

ඒ සඳහා වන සැලසුමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සහ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අනුමැතිය ලබා දී ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව ඉරාන රජයේ සහ හමුදාවේ යටිතල පහසුකම් ඊශ්‍රායලයේ මිළඟ ඉලක්කය වනු ඇත.

එම ප්‍රහාර මාලාවට පෙර ඊයේ පස්වරුවේ සිට ඊශ්‍රායලය ටෙහෙරානයේ වැසියන්ට ඉවත්වීමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබිණි.

ඒවායේ දැක්වුණේ ටෙහෙරානයේ පිහිටි හමුදා යටිතල පහසුකම් ආසන්නයේ දිවිගෙවන්නේ නම් එම ජනතාවගේ ජීවිත අනාරක්ෂිත බවයි.

එබැවින් ආරක්ෂිත ස්ථාන කරා වහාම යොමුවන ලෙස ඊශ්‍රායල හමුදාව ටෙහෙරාන් වැසියන්ට දැනුම් දී තිබේ.

මේ අතර පපුගිය පැය 65 ක කාලය තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ පුද්ගලයන් 244 දෙනෙකු මියගොස් පුද්ගලයින් 1,277 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මියගිය පිරිස අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින බව පැවැසේ.

එමෙන්ම එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ විපතට පත්වන 90% සිවිල් වැසියන් බවයි.

ඉරානය ඊශ්‍රායල වෙත එල්ල කරන බැලැස්ටික් මිසයිල ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ ද පුද්ගලයින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.

ඊයේ රාත්‍රියේද ඉරානය ඊශ්‍රායලය වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාර 30 ක් පමණ එල්ල කර තිබේ.

එම ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති අතර මිසයිල රැසක් ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර ඉරාන නායක අයතොල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායලය ගෙන ආ සැලසුමක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

අමෙරිකානු රජයේ මූලාශ්‍ර 03ක් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

ඊශ්‍රායලයට කමේනි ඝාතනය කිරීමට අවස්ථාව ලැබුණු නමුත් ට්‍රම්ප් එය හොඳ අදහසක් නොවන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත දැනුම් දුන් බව එම මූලාශ්‍ර අනාවරණ කර ඇත.