June 16, 2025

දශක හතරහමාරකට පෙර සිදුවූ ගුවන් අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු දිවි ගලවාගැනීමට සමත්වී තිබූ අතර, ඉන් එක් අයෙක් එවක එක්සත් ජාතීන්ගේ සිවිල් සේවකයකු වූ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර්ය.

1979 ඔක්තෝබර් 7 වැනි දින, එවක ජිනීවා පදනම් කරගත් ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ ආසියා-පැසිෆික් අංශයේ ප්‍රධානියා වූ කදිර්ගාමර්, එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආර්පාඩ් බොග්ෂ් සහ තවත් නිලධාරිනියක වූ ඉන්ද්‍රානි පයික් වනිගසේකර සමඟ ස්විස්එයාර් 316 ගුවන් යානයෙන් බීජිං බලා ගමන් කරමින් සිටියදී, යානය ධාවන පථයෙන් ඉවතට පැන ඇතන්ස් ගුවන් තොටුපළට කඩාවැටී ගිනි බෝලයක් ලෙස පුපුරා ගොස් තිබිණි.

යානයේ සිටි මගීන් සහ කාර්යමණ්ඩලය 154 දෙනාගෙන් 14 දෙනෙකු මියගොස් තිබිණි.

චීනයේ වෛද්‍ය සමුළුවකට යමින් සිටි වෛද්‍යවරුන් 100 දෙනෙක් ද ගුවන් යානයේ සිට තිබේ.

ගුවන් යානයේ විකිරණශීලී සමස්ථානික කිලෝග්‍රෑම් 450ක් සහ ඊළඟ නියමිත නැවතුම වන බොම්බාය (වර්තමාන මුම්බායි) වෙත කාර්මික දියමන්ති මෙන්ම ප්ලූටෝනියම් කුඩා ප්‍රමාණයක් ද රැගෙන යමින් තිබී ඇත.

1994 දී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ධුරයට පත්වීමට නියමිතව සිටි කදිරගාමර්ට දිවි බේරාගැනීම සඳහා දැවෙන ගුවන් යානයේ පිටුපස දොරෙන් පහළ තාර පාරට පැනීමට සිදුවී තිබිණි.

තරුණ වියේ දී රජයේ පාසල් සහ විශ්වවිද්‍යාල බාධක ධාවන ක්‍රීඩකයකු වූ ඔහු පසුව මෙසේ පවසා තිබිණි.

“සියලුම පැන යෑමේ කුටි කඩාවැටී තිබුණා, ගුවන් යානයෙන් පිටව ගිය අවසාන පුද්ගලයා මම වුණු නිසා මට පිටතට පනින්න සිද්ධ වුණා, එකෙන් මගේ කොඳු ඇට පෙළට බරපතළ තුවාලසිදු වුණා, මාස තුනක් ජිනීවාහි රෝහලේ රැඳී සිටින්නත් වුණා .”

වෛද්‍ය බොග්ෂ් සහ පයික්-වනිගසේකර යන දෙදෙනා ද තාර පාරට ලිස්සා යෑමෙන් දිවි ගලවාගෙන තිබිණි.

නොසැළකිලිමත්කම සහ බහුවිධ ශාරීරික හානි සිදු කිරීම හේතුවෙන් ග්‍රීක අධිකරණයක් විසින් මිනිස් ඝාතනය සම්බන්ධයෙන් නියමුවා සහ සහය නියමුවා වරදකරු බවට පත් කර සිර දඬුවම් නියම කරන ලද නමුත් අනතුරුව ඇප ලබා දී පසුව සිර දඬුවම වෙනුවට දඩ මුදල් ගෙවීමට අවස්ථා දී තිබිණි.

ඔවුන් නැවත කිසි දිනෙක ගුවන් නියමුවන් ලෙස සේවය කර නැත.