June 13, 2025

පසුගියදා අනුරාධපුර බන්ධනාගාරයෙන් අනවසරයෙන් නිදහස් කර ඇති පුද්ගලයා ඇතුළු නිසි නීත්‍යානුකූල අනුමැතියකින් තොරව බන්ධනාගාරයෙන් නිදහස් වූ ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පසුගිය කාලය තුළ බන්ධනාගාරගතව සිටි රැඳවියන් 60කට අධික සංඛ්‍යාවක් නිසි නීත්‍යානුකූල අනුමැතියකින් තොරව නිදහස් කර ඇති බවට අනාවරණය වීමත් සමඟ බන්ධනාගාරගතව සිටින බවට පැවසෙන කිසියම් පුද්ගලයකු බන්ධනාගාරගතව නොමැති නම් ඔවුන් යළි අත්අඩංගුවට ගැනීම අදාළ බලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති ලේකම් කාර්යාලය ද පවසා තිබේ.

මේ අතර එවැනි පුද්ගලයන් නැවත පොලිසිය භාරයට ගන්නේ දැයි The Morning පුවත්පත කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ, මැයි මාසයේ වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව සඳහා අනුමත කර ඇති නිල ලැයිස්තුවේ නොසිටියත්, මුදාහැර ඇති අනුරාධපුර රැඳවියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැනටමත් කටයුතු කරමින් සිටින බවයි.

යමෙක් වැරදි ක්‍රියාවලියක් ඔස්සේ නිදහස් කර ඇත්නම් ඔවුන්ට සමාවක් හිමි නොවන බවත්, ඔවුන් සිටිය යුත්තේ සිරගතව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

ජනාධිපති සමාව සඳහා නිදහස් කරන ලද රැඳවියන් 388 දෙනකුගේ නිල නාමලේඛනයේ නම නොතිබුණද, අනුරාධපුර බන්ධනාගාරයේ සිටි එක් රැඳවියකු නිදහස් කර ඇති බව ඉකුත් දා අනාවරණය විය.

ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලද ලැයිස්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය සහ අවසානයේ ජනාධිපතිවරයාගේ අත්සන ඇතුළත් ක්‍රියාවලියක් ඔස්සේ සිදු වේ.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ට අනුව, 2024 නත්තල් සහ 2025 නිදහස් දිනය තුළ නීතිවිරෝධී ලෙස සිරකරුවන් 68 දෙනෙකු නිදහස් කර ඇත.

මේ වසරේ වෙසක් සමයේ බන්ධනාගාර 29 කින් නිදහස් වූ සිරකරුවන් 338 දෙනාගෙන් අවම වශයෙන් දෙදෙනෙකුට නිසි ක්‍රියාවලියක් හරහා අනුමැතිය නොලැබුණු බව ද ඔහු තහවුරු කළේය.