June 13, 2025

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාර මාලාව වළක්වාගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ හිටපු ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව ගොනුකර ඇති පෙත්සම කඩිනමින් විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අර්විසා මීගල් ඊයේ (12) දින අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

මේ වනවිටත් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇති අතර, දෙපාර්තමේන්තු මට්ටමින් විනය පරීක්ෂණයක් පැවැත්වීම එකී නීතිමය පියවර ගැනීමට කිසිදු බාධාවක් නොවන බවද ඇය පවසා තිබේ.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ රොහාන් සිල්වා පියතුමා හා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය තරුණයකුගේ පියා වන සුරාජ් නිලංග ගොනුකර තිබූ එම පෙත්සම මායාදුන්නේ කොරයා හා මහේන් ගොපල්ලව යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එම විනය පරීක්ෂණය අවසන් වනතුරු පෙත්සම් විභාගය කල්තබන ලෙස ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහිදි වගඋත්තරකරුට එරෙහිව විනය පරීක්ෂණය ආරම්භ කොට ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනිසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට තහවුරු කර ඇත.

විනය පරීක්ෂණය සහ අපරාධ පරීක්ෂණය අතර සම්බන්ධතාවක් නොමැති බවත්, විනය පරීක්ෂණය ආරම්භ කළේ ද සිය සේවාදායකයන් මෙම පෙත්සම ගොනුකිරීමෙන් පසුව බවත්, විනය පරීක්ෂණයක් පවත්වා රාජකාරි පැහැරහැරීමට එරෙහිව විනයානුකූලව පියවරගැනීම පෙත්සම්කරුවන්ගේ එක් ඉල්ලීමක් පමණක් බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරිය පවසා ඇත.

ඇයි හදිස්සි වෙන්නේ, විනය පරීක්ෂණයේ නියෝගය එනකම් බලමු නේ” දැයි අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරියට ප්‍රකාශ කර තිබේ.

“මෙය 2019 වසරේදී සිදුවූ දෙයක්. නමුත් මේ වනතුරු එම වගඋත්තරකරුට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර නැහැ” ඇය විනිසුරු මඬුල්ලට පවසා ඇත.

නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩුවක් ගොනුනොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇත්නම් එකී තීරණය අවලංගු කරන ලෙස නියෝගයක් ලබාදෙන මෙන් ඇය විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිට තිබේ.

සිය දෙපාර්තමේන්තුව එවැනි තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට සඳහා කර තිබේ.

පාස්කු ප්‍රහාර මාලාව මැඬපැවැත්වීමට පියවර නොගැනීමට එරෙහිව නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක නිලන්ත ජයවර්ධන පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස නම් කර තිබූ බවත්, යමකුට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකිරීමට නම් ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්‍ෂි ඇත්දැයි නඩු මෙහෙයවන නීතිපතිවරයා සීහිමට පත්විය යුතු බවත්, එහිදී අධිකරණයට පවසා ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, නිලන්ත ජයවර්ධන අපරාධ නඩුවක විත්තිකරුවකු කරන්නේ ද නැති ද කියා නීතිපති දෙපාර්තමේන්තුව තවම තීරණය ද කර නැතැයිද තවදුරටත් පවසා ඇත.