May 10, 2025

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසේ ඉදිරිය තවමත් අවිනිශ්චිතව පවතින බව දැනගන්නට තිබේ.

තෝරාගත් විදේශීය කොන්ත්‍රාත්කරු සමඟ ව්‍යාපෘතිය නැවත සාකච්ඡා කරනවාද, නව දේශීය කොන්ත්‍රාත්කරුවකු සොයා ගන්නවාද නැතහොත් එය දැනට අත්හිටුවනවාද යන්න පිළිබඳ රජය කල්පනා කරමින් සිටින බව වාර්තා වේ.

කලින් තෝරාගත් විදේශීය සමාගමට ගෙවිය යුතු වන්දි දිනකට රුපියල් මිලියන 21කින් එකතු වෙමින් පවතින්නේ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් නොපැවතීම නිසා යන්ත්‍ර සහ උපකරණ අක්‍රියව පැවතීම හේතුවෙනි.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ, ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින බවයි.

නැවත සාකච්ඡා කිරීම හෝ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් දේශීය වශයෙන් නව කොන්ත්‍රාත්කරුවකු සොයා ගන්නේද යන්න ගවේෂණය කරන බවත් ඔහු සඳහන් කරයි.

කඩවත සිට මිරිගම දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීම් සඳහා වැය වන අධික පිරිවැය හේතුවෙන් එය අර්ධ වශයෙන් ඉදිකර නවතා දමා ඇත.

කිලෝමීටර් 36.5ක දිගකින් යුත් කඩවත-මිරිගම කොටස මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන අතර එය අදියර දෙකකින් සිදු කිරීමට නියමිතව තිබිණි.

පළමු අදියර කිලෝමීටර පහක් වන අතර ඉතිරි දුර රුපියල් මිලියන 168.5ක වියදමින් නිම කළ යුතු වුවද එහි වියදම අඛණ්ඩව ඉහළ යමින් තිබේ.

කොන්ත්‍රාත්තුව 2015 සහ 2016 දී අත්සන් කළ ද 2025 වසර වන විටත් එය අවසන් කර නොමැත.

මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා මෙම වසරේ අයවැයෙන් රුපියල් මිලියන 5,000ක් වෙන් කර තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මිරිගම, මිරිගම – කුරුණැගල, පොතුහැර – රඹුක්කන සහ කුරුණෑගල – දඹුල්ල යන කොටස්වල ඉදිකිරීම් කටයුතු නියමිත වේලාවට සිදු කළේ නම්, එය රුපියල් බිලියන 58ක වියදමින් නිම කළ හැකිව තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දැන් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට වැඩියෙන් වැය කිරිමට සිදුව ඇත.