May 2, 2025

මෙවර වෙසක් උත්සවයට සමගාමීව මැයි 10-16 දක්වා කාලය වෙසක් සතිය ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයකට අනුව රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 10 වැනි දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

“භජේත මිත්තේ කල්‍යාණේ – භජේත පුරිසුත්තමේ” යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතය.

වෙසක් සතිය තුළ ජනතාවගේ ආධ්‍යාත්මික වර්ධනය ඉලක්ක කරගත් ඵලදායී වැඩසටහන් කිහිපයක් රට පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ මැයි 12, 13 සහ 14 යන දිනවල දිවයින පුරා පිහිටි සියලුම ගව ඝාතකාගාර සහ සුපිරි වෙළඳසැල්වල මස් අලෙවිසැල් ඇතුළු මස් වෙළඳසැල් වසාතබන බවයි.

මීට අමතරව, දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල්, මධ්‍යසාර පාන අලෙවි කරන ස්ථාන සහ සමාජ ශාලා ද මේ දිනවල වසාතැබිය යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.