May 2, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දක්වා ඇති කරුණු පහත පරිදි වේ.

”හිටපු ජනාධිපතිගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිසියෙන් පසුගියදා නිකුත් වූ නිවේදනයේ එය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට දුරකථන ඇමතුමක් ලබාදීමට ගත් උත්සාහයක් හේතුවෙන් බව පැවසේ.

එම දුරකතන ඇමතුම පිළිබඳ කරුණු මෙසේයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් පොලිස් භාරයට ගෙන ඇති බව ඔහුගේ කාර්යාලය හිටපු ජනාධිපතිවරයාට දන්වා ඇතත් ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ඔවුන් දැනසිටියේ නැත. මෙම තොරතුරු ලබාගැනීම සඳහා ඔවුන් හිටපු ජනාධිපතිවරයාගේ සහාය ඉල්ලා තිබිණි.

චන්ද්‍රකාන්තන්ගේ ආරක්‍ෂක නිලධාරියා හිටපු ජනාධිපතිවරයාට දන්වා සිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව සම්බන්ධ කරගත හැකි බව සහ ඔහුගේ දුරකතන අංකය ලබාදෙන ලදී.

ඒ අනුව චන්ද්‍රකාන්තන්ට කතාකිරීමට අවස්ථාවක් සුදුසු නිලධාරියාගෙන් ඉල්ලා සිටින ලෙස හිටපු ජනාධිපතිවරයා තම ආරක්ෂක නිලධාරියාගෙන් ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපතිවරයාට පොලිසියට දුරකථන ඇමතුමක් ගැනීමට අවශ්‍ය වූ විට එය ඔහුගේ පොලිස් ආරක්‍ෂක තොරතුරු හරහා සිදුකිරීම පුරුද්දක් වී තිබේ.

ඒ අනුව ඔහුට අත්අඩංගුවේ සිටින කෙනෙකුට කතා කිරීමට අවශ්‍ය වූ විට, මෙම දුරකථන ඇමතුමට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳව මුලින්ම විමසීමක් කරනු ලැබේ.

මෙම අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක අංශ අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට කතාකළ අතර, ඔහු දැනුම් දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලබාගත යුතු බවයි.

අදාළ නිලධාරියා නැවත ඇමතුමක් ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක අංශ වෙත දන්වා සිටියේ, දැනට පවතින විමර්ශන හේතුවෙන් එම දුරකථන ඇමතුම සම්බන්ධ කිරීමට නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා තමාට දන්වා ඇති බවයි.

තවද, ප්‍රභූවරයෙකුගේ ආරක්‍ෂක නිලධාරියාට ස්ථාන මාරුවක් ලබාදෙන්නේ නම් ඒ බව දැනුම් දීම සිරිතකි”