March 7, 2025

ජපානයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) සම්බන්ධයෙන් රජය මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.එස්.පී.එස්. බණ්ඩාර පවසයි.

ජපානය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් අද මුදල් අමාත්‍යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව ජපාන රජය සමඟ අලුතින් සාකච්ඡා කිරීමට අවශ්‍ය බවයි.

යහපාලන ආණ්ඩුව යටතේ සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය පසුව 2021 දී ජපානය හෝ එහි ප්‍රධාන අරමුදල් සපයන ආයතනය වන ජපන් අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අවලංගු කර තිබිණි.

බලයට පත්වීමෙන් පසු, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 මැයි මාසයේදී ටෝකියෝවේ සිදුකළ සිය නිල සංචාරයේදී ව්‍යාපෘතිය අවලංගු කිරීම සම්බන්ධයෙන් ජපාන රජයෙන් සමාව අයැද සිටියේය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටුවා තිබූ ව්‍යාපෘති 11 ක් 2024 දී නැවත ආරම්භ කරන බව නිවේදනය කරමින් ජපාන බලධාරීන් පැවසුවේ ඩොලර් බිලියන 1.5 ක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අනාගත ව්‍යාපෘතියක් ලෙස සැළකිව හැකි බවයි.