December 13, 2024

ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවට අයත් Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ප්‍රදානය කිරීමත් ඊයේ කොළඹ පැවැති විශේෂ උත්සවයකදී සිදුවිය.

එමගින් සමුද්‍රීය ආරක්ෂක තර්ජන මැඩළීම සඳහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් වී තිබේ.

ඔක්තෝම්බර් මස අගදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නීත්‍යානුකූලව භාරදුන් නවීන ද්විත්ව එන්ජින් සහිත ටර්බෝප්‍රොප් ගුවන් යානය මිනිස් ජාවාරම් ඇතුළු අන්තර්ජාතික අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සමුද්‍ර නිරීක්ෂණ හැකියාව සැළකිව යුතු ලෙස වැඩිදියුණු කරනු ඇත.

එම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ පෙන්වාදුන්නේ, ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු මෙම ත්‍යාගය ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා දෙරටේ අන්‍යෝන්‍ය උත්සාහය පෙන්නුම් කරන බවයි.

“අපගේ සමුද්‍රීය ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට අපට ඇති හැකියාව ශක්තිමත් කරනවා පමණක් නොව අපගේ ජාතීන් අතර පවතින බැඳීම වැදගත් ලෙස අවධාරණය කරන ත්‍යාගයක් වන King Air 350 ගුවන් යානය ගැන මම අවංකවම ස්තූතිවන්ත වනවා. අපගේ දිගුකාලීන හවුල්කරුවෙක් වන ඕස්ට්‍රේලියාව සමඟ කලාපීය ආරක්ෂක ප්‍රයත්නයන් සඳහා අඛණ්ඩව සහාය දැක්වීම ගැන අපි ආඩම්බර වනවා ”එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ පැවසීය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවැති උත්සවයට සමගාමීව අදහස් දක්වමින් ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් ආඥාපති රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් පැවසුවේ, මෙම උත්සවය ඕස්ට්‍රේලියානු – ශ්‍රී ලංකා සබඳතාව නිර්වචනය කරන රන් ප්‍රමිතියේ තවත් සංදර්ශනයක් බවයි.