December 5, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුකෙරෙමින් පවතින නඩු කටයුතු සම්බන්ධයෙන් තමන් කළ බව කියන අපහාසාත්මක ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණයත් සමඟ ඇයට එරෙහිව ගොනුකර තිබූ අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ඊයේ අවසන් කෙරිණි.

මීට අමතරව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් සිදුනොකරන බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබේ.

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල්ගේ පුත්‍රයා වන හාඩි ජමාල්ඩින් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

කාන්තාවකට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ නඩුවකට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් පිළිබඳව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනමාධ්‍ය සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව පෙත්සම්කරු ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න, ඒ අනුව නඩු විභාගය අවසන් කළ හැකි බව සඳහන් කළේය.