September 26, 2024

අවංකව, බෙදා වෙන්කිරීමකින් තොරව අවස්ථාව දෙමින්, සමානාත්මතාවෙන් යුතු සහ සැමට යුක්තිය ඇති නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙරට නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ අනුර කුමාර දිසානායක විසින් දරන ප්‍රයත්නයේදී දෙමළ ඩයස්පෝරාව ඊට සම්බන්ධ වීම සඳහා උනන්දු ප්‍රකාශ කර තිබේ.

ගෝලීය දෙමළ සංසදය(GTF) ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායකට සිය සුබ පැතුම් ද පිරිනමා තිබේ.

නිහතමානී ඇරඹුමකින් පටන් ගෙන, සිය දේශපාලන ගමන පුරාම ජනතාවාදී පුද්ගලයකු ලෙස රැඳී සිටින දිසානායක ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සෑම පසුබිමකම සිටින තරුණ පරම්පරාවට විශාල සිහින දැකීමට පොළඹවනු ඇති බව එම සංසදය ප්‍රකාශ කර තිබේ.

“ශ්‍රී ලංකා ඉතිහාසයේ තුන්වැනි අගමැතිනිය වන ආචාර්ය හරිනි අමරසූරියට අපි සුබ පතනවා” යනුවෙන් ද ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

බොහෝ රටවලට ආදර්ශයක් දෙමින් මැතිවරණය සහ බලය පැවරීම යන දෙකම සාමකාමීව සිදුවීම සතුටට කරුණක් බව ද ගෝලීය දෙමළ සංසදය පවසයි.

මෙම මැතිවරණ ව්‍යාපාරය බොහෝ දුරට වාර්ගික සහ ආගමික අන්තවාදී වාචාල කතාවලින් තොර වූ බව ද මෙය අනාගතයට පූර්වාදර්ශයක් වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වේ.

“නිසැකවම, ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ තීරණාත්මක ස්ථානයක සිටී. බෙලහීන ආර්ථික අර්බුදය සහ සමාජයේ සෑම තරාතිරමකම මුල් බැසගත් දූෂණය ක්‍රම වෙනසක් අපේක්ෂා කිරීමට ජනතාව පෙළඹී ඇති අතර, ජනාධිපති දිසානායක සහ ජාතික ජන බලවේගය විසින් ගෙන ගිය උද්ඝෝෂණය මිලියන සංඛ්‍යාත ජනතාවට හොඳින් අවබෝධ වී ඇත. කෙසේවෙතත් අපි අවධානයෙන් සිටිමු; ජනතාව අපේක්ෂා කරන ආර්ථික, දේශපාලනික සහ සමාජීය පරිවර්තනයක් ගෙන ඒමේදී නව ජනාධිපතිවරයා අතිවිශාල අභියෝගවලට මුහුණ දෙනු ඇත,” යනුවෙන් ගෝලීය දෙමළ සංසදය පවසයි.

සැබෑ පරිවර්තනයක් සිදුවිය හැක්කේ රටේ සෑම පුරවැසියකුටම සහ ප්‍රජාවකටම එහි සංවර්ධන ගමන් පථයේ සමාන කොටස්කරුවන් ලෙස හැඟෙන විට පමණක් බව ගෝලීය දෙමළ සංසදයේ අදහසයි.

නව නායකයන් සම්බන්ධයෙන් සුළු ජාතික ප්‍රජාවන් තුළ පවතින සැළකිව යුතු විශ්වාසයේ ඌනතාව සහ භීතිය නව ජනාධිපතිවරයාට සහ ඔහුගේ සභාග පක්ෂවලට තවමත් ජය ගැනීමට නොහැකි වී ඇති බව මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනෙන බව ද එම සංසදය සඳහන් කරයි.

ඔවුන් පවසන්නේ දශක ගණනාවක් පුරා, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සමානාත්මතාව, යුක්තිය සහ සාධාරණ නියෝජනය සම්බන්ධයෙන් සැළකිව යුතු අභියෝගවලට මුහුණ දුන් අතර, රාජ්‍ය අනුග්‍රහය දක්වන වැඩසටහන් හරහා ඔවුන්ගේ භාෂාමය සහ ආගමික අනන්‍යතාවන් අහිමි වේ යැයි බොහෝ විට බියට පත් වූ බවයි.

තම රටේ ද්විතීයික වැදගත්කමක් ඇති පුරවැසියන් ලෙස දෙමළ ජනතාවගේ හැඟීම් අවබෝධ කර ගනිමින් මෙම දිගුකාලීන දුක්ගැනවිලි විසඳීමට ජනාධිපති දිසානායක අර්ථවත් පියවර ගනු ඇතැයි ගෝලීය දෙමළ සංසදය බලාපොරොත්තු වේ.

“යහපාලන රජය සමයේ (2015-19) ආරම්භ කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීම සහ සියලුම ජනතාවට සහභාගී විය හැකි පරිදි දේශපාලන හා පරිපාලන බලතල පළාත් පාලන ආයතන, දිස්ත්‍රික්ක සහ පළාත් සමඟ බෙදා ගැනීම සහතික කරන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපව දිරිමත් කරනවා.” යැයි ගෝලීය දෙමළ සංසදය වැඩිදුරටත් පැවසීය.