August 16, 2024

වසර 30කට අධික කාලයක් විදත් හා මුද්‍රිත ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ප්‍රදීප් අනුර කුමාර පෙරේදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංගගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ප්‍රදීප් අනුර කුමාර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්තවන විට 53 වැනි වියේ පසුවිය.

ප්‍රදීප් අනුර කුමාර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සියලුදෙනා සමඟ මනා අවබෝධයෙන් යුතුව කටයුතු කළ සුහදශීලී චරිතයකි.

හිටපු ඇමතිවරුන්වන දිවංගත රෙජී රණතුංග, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, දී.මූ ජයරත්න සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ ද ජනමාධ්‍ය ලේකම්වරයා ලෙස ඔහු කටයුතු කර තිබේ.

අභාවප්‍රාප්ත ප්‍රදීප් අනුර කුමාර මිනුවන්ගොඩ, නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකි.

දිවයින පුවත්පතේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි හෙතෙම අනතුරුව ජාතික රූපවාහිනිය, හිරු එෆ්.එම්, ලක්හඬ ගුවන් විදුලිය, සිරස සහ දිනකර පුවත්පතෙහි සේවය කරනු ලැබීය.

ඊට අමතරව තවත් බොහෝ පුවත්පත් හා සඟරාවලට ඔහු විසින් ලිපි සම්පාදනය කර තිබේ.

ගුරුවරියක වන සාගරිකා අබේවර්ධනගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ ප්‍රදීප් දියණියන් දෙදෙනකුගේ පියෙකි.

ප්‍රදීප් අනුර කුමාරගේ දේහය අංක 239/3, අරලිය උයන, මිනුවන්ගොඩ පාර, කොටුගොඩ නිවෙසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු කොටුගොඩ, පොදු සුසාන භූමියේදී හෙට (17) සිදුකිරීමට නියමිතය.