
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටාකය දිගු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ඉල්ලීම මේ වන විට අනපේක්ෂිත ගැටලුවකට මුහුණ දී තිබෙන බව වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ මුහුදු සීමාවේ අතිච්ඡාදනය වන කොටස සඳහා ඉන්දියාව ද හිමිකම් ප්‍රකාශ කර තිබීමයි.
එබැවින් එය විසඳීම සඳහා දෙරටට ද්විපාර්ශ්වික මැදිහත්වීම් ලබා ගැනීමට සිදුවනු ඇති බව රජයට සම්බන්ධ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය යටතේ නාවික සැතපුම් 200ක සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටාකයේ පිටත සීමාවන් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව 2009 මැයි මාසයේදී ඊට අදාළ එක්සත් ජාතීන්ගේ කොමිසම වෙත ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.
ඉන්පසුව, එම කොමිසම 2016 දී ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීම සඳහා අනු කොමිසමක් පිහිටුවන ලදී.
එතැන් සිට එම කාර්යය වෙනුවෙන් පත්කර සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාකච්ඡා වට 11ක් පවත්වා ඇත.
වාර්තා වන පරිදි, ශ්‍රී ලංකාව සිය මහාද්වීපික තටාකයේ පිටත මායිම අනු කොමිසම තෘප්තිමත් වන පරිදි සාර්ථකව ස්ථාපිත කර ඇත.
කෙසේවෙතත්, එයට තවමත් එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කොමිසමේ අනුමැතිය ලැබී නැත.
මෙම අනු කොමිසම සමඟ කටයුතු කිරීම සඳහා අමාත්‍යාංශය යටතේ ජාතික සාගර කටයුතු කමිටුව පිහිටුවීමට විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පසුගිය වසරේ කැබිනට් අනුමැතිය ලබා ගත්තේය.
කෙසේවෙතත්, අතිච්ඡාදනය වන කොටස සඳහා ඉන්දියාව ද හිමිකම් ඉදිරිපත් කර ඇත.
ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්.ජයශංකර් මෑතකදී ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ඇමැති සබ්රි මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බව වාර්තා වේ.
ආචාර්ය ජයශංකර් එය අධ්‍යයනය කර සුදුසු පරිදි සොයා බලන බවට පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ.
මේ අතර, මධ්‍යම ඉන්දියන් සාගරයේ, මාලදිවයිනට නැගෙනහිරින් සහ ඉන්දීය වෙරළේ සිට කිලෝමීටර් 1,350ක් (සැතපුම් 850) පමණ දුරින් පිහිටි කොබෝල්ට් බහුල Afanasy Nikitin Seamount ගවේෂණය කිරීමට ජනවාරි මාසයේදී ඉන්දියාව අන්තර්ජාතික මුහුදුබඩ අධිකාරියේ අනුමැතිය ඉල්ලා සිටියේය.
එය මහාද්වීපික තටාක පුළුල් කිරීමේ සැලැස්මේ ශ්‍රී ලංකාව හිමිකම් කියන කලාපය තුළ පිහිටා ඇති බැවින් ශ්‍රී ලංකාව ද ඒ සඳහා උනන්දුවක් දක්වයි.
එය ද දැන් ද්විපාර්ශ්විකව විසඳා ගැනීමට බලාපොරොත්තු වේ.
කොබෝල්ට් යනු විද්‍යුත් වාහන සහ බැටරිවල බහුලව භාවිත වන වැදගත් ඛනිජයක් වන අතර එය හරිත බලශක්ති සංක්‍රාන්තියේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැළකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart