July 7, 2024

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ලයනල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු නෙදර්ලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත් මැලේසියාවේ මහ කොමසාරිස්වරයා ලෙසත් කටයුතු කළේය.

ඔහු උතුර-නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම තවත් අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.

ලයනල් ප්‍රනාන්දු ලංකා නැව් සංස්ථාව, ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ජාතික රක්ෂණ සංස්ථාවේ ආරම්භක සභාපතිවරයාද විය.

මීට අමතරව, ඔහු රසායනික අවි අහෝසි කිරීම සඳහා වූ අන්තර්ජාතික සංවිධානයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

යාපනයේ දිසාපතිවරයා ලෙස ඔහු කළ සේවය බොහෝදෙනාගේ පැසසුමට ලක්විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබාගත් ලයනල් ප්‍රනාන්දු එකල එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “මනමේ” නාට්‍යයේ ප්‍රථම නිෂ්පාදනයේ රංගන ශිල්පියකු වූ අතර දේශීය සිනමාවට සහ රංග කලාවට විශාල මෙහෙවරක් කළේය.

ලයනල් ප්‍රනාන්දු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි.

ලයනල් ප්‍රනාන්දු, දිවංගත ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහගේ සැමියා විය.

කෞශල්‍යා ප්‍රනාන්දු සහ ශ්‍යාමලිකා නානායක්කාර ඔහුගේ දියණියන් වේ.

ලයනල් ප්‍රනාන්දුගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 5.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ නව ආදාහනාගාරයේදී සිදුකෙරේ.