July 2, 2024

සමගි ජන බලවේගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පක්ෂය හැරගිය අයකු ලෙස සැළකීම ඔහුට සුදුසුම ප්‍රතිචාරය බව සමගි ජන බලවේගය පවසයි.

ඔහු පක්ෂය සහ එහි නායකත්වය විවේචනය කරමින් එක්සත් ජාතික පක්ෂ නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ප්‍රශංසාවට ලක්කරන අයුරු පසුගිය දිනවල දැකගත හැකිවිය.

ඔහු පක්ෂය හැරදා ජනාධිපතිවරයා සමඟ පෙළගැසී සිටින බැවින් ඔහු පක්ෂය හැර ගිය අයකු ලෙස සැළකීම සුදුසුම ක්‍රියාමාර්ගය බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා සමඟ උත්සව පවත්වමින් පක්ෂය සහ නායකයා විවේචනය කරනවා නම් ඔහු තවමත් සමගි ජන බලවේගයේ සාමාජිකයකු ලෙස සලළකන්නේ කෙසේද යන්නයි.

ෆොන්සේකාගේ සභාපති ධුරය සහ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී ඔහු සමඟ එක්ව කටයුතු කිරීම විහිළුසහගත බවද ඔහු සඳහන් කර තිබේ.

“එක් පැත්තකින් අපි ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න යද්දී එතුමා පක්ෂ සාමාජිකත්වය සහ සභාපතිකම රැකගන්න නඩු දානවා. අනිත් පැත්තෙන් පක්ෂය සහ නායකයා විවේචනය කරමින් වටේ යනවා. ඔහුගේ ක්‍රියාව විහිළුවක්” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය ලබා නොදුන් බවට සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විවේචනය කරමින්
සරත් ෆොන්සේකා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළේය.

ඔහු විසින් රචනා කරන ලද ‘හමුදාපතිවරයා ජාතියට දුන් පොරොන්දුව’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන ලෙස පවා ෆොන්සේකා ජනාධිපති වික්‍රමසිංහට ආරාධනා කර තිබිණි.