June 14, 2024

තමාට අයත් මෝටර් රථයේ ගැටී පසුගියදා මිය ගිය තරුණයාගේ පවුලේ ඥාතීන් වෙත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ සිය කණගාටුව ප්‍රකාශ කළේය.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ “පසුගියදා සිදුවූ රිය අනතුරකින් මියගිය තරුණයාගේ පවුලේ සාමාජිකයන්ට මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. සිද්ධිය ගැන මම කණගාටු වෙනවා” යනුවෙනි.

කෙසේවෙතත්, පොලිස් පරීක්ෂණ අවසන් වන තුරු ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරන බව මන්ත්‍රීවරයා පැවසීය.

“මගේ වාහනය අධික වේගයෙන් ධාවනය වූ බවට පළ වූ වාර්තාව අසත්‍යයක් වන්නේ ඒ මොහොතේ පැවති අධික වර්ෂාවත් සමඟ වේගයෙන් ධාවනය කිරීමට නොහැකි නිසයි. පරීක්ෂණය කරගෙන යන්න මම පොලිසියට ඉඩ දෙනවා. පරීක්ෂණ සිදුකරන පොලිසියේ කිසිවකුට මා බලපෑම් කර නැහැ. පොලිසිය භාර මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස්ටද මේ සම්බන්ධයෙන් මම කතා කර නැහැ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.