October 8, 2026

ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝටේ, ඔහුගේ බිරිඳ සුසාන් ජියන්ෆෝටේ සහ නිල නියෝජිත පිරිසක් සමඟ හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

කෘෂිකාර්මික වෙළඳාම සහ දෙපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම නිල සංචාරයේ ප්‍රධාන අරමුණයි.

ඇමෙරිකානු තානාපති කාර්යාලයට අනුව, සංචාරයේ ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වාණිජ සබඳතා වර්ධනය කරගැනීම සඳහා ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රනිල බෝග නිෂ්පාදනය කරන ප්‍රමුඛතම ප්‍රාන්තය වන මොන්ටානා, තම ගොවීන් සඳහා ශ්‍රී ලංකාව තුළ නව අපනයන මාර්ග විවෘත කරගැනීමට මෙහිදී අපේක්ෂා කරයි.

මෙම සංචාරය අතරතුර, මොන්ටානා නියෝජිත පිරිස දේශීය ආනයනකරුවන් සහ වෙළෙඳුන් හමුවී වෙළඳපොළ අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමටත්, ශ්‍රී ලාංකික ව්‍යාපාර සමඟ දිගුකාලීන පෞද්ගලික-රාජ්‍ය සහකාරිත්වයන් ගොඩනඟා ගැනීමටත් නියමිතය.

කෘෂිකාර්මික වෙළඳාමට අමතරව, 2021 වසරේ සිට මොන්ටානා සහ ශ්‍රී ලංකාව අතර පවතින ප්‍රාන්ත සහකාරිත්ව වැඩසටහන හරහා ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා, මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රෙන්ටන් ගිබ්සන් ද මෙම නියෝජිත පිරිසට එක්ව සිටියි.

2025 වසරේදී මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම පිළිබඳව ද කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.