June 8, 2024

බෝමිරිය මුණිදාස කුමාරතුංග විදුහල ආසන්නයේදී පාරේ වැටී තිබූ ඩීසල් තෙල් පැල්ලමක් මතින් ගමන් කිරීමේදී යතුරුපැදිය පෙරළී යෑම නිසා 30 හැවිරිදි තරුණයකු මියගොස් තිබේ.

මෙම තරුණයා නවගමුව රෝහල පාරේ පදිංචි ව සිටි ඉද්දමල්ගොඩ දසනායකගේ ජනිත් චාරුක නමැති තිස් හැවිරිදි අයෙකි.

මොහු ඊයේ (7දා) උදෑසන 6.30 ට පමණ රැකියාවට යෑමේදී පහළ බෝමිරිය ප්‍රදේශයේ දී පාරේ තිබූ තෙල් පැල්ලමකට ලිස්සා ගොස් පාරේ ඇදවැටීම නිසා හිස තාර සහිත පොළවේ වැදී බරපතළ තුවාල ලබා ඇත.

ඉන්පසු ඔහු නවගමුව රජයේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මෙම යතුරුපැදිය පෙරළෙනවා දුටු ඊට පිටුපසින් පැමිණි යතුරුපැදියක් ද පෙරළී ගොස් ඇත.

නවගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.