June 4, 2024

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි දක්වා තිබෙන ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් කාරක සභා අවස්ථාවේදී අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව විෂය භාර ඇමැති කංචන විජේසේකර අද ප්‍රකාශ කළේය.

‘X’හි සටහනක් තබමින් ඇමැති විජේසේකර කියා සිටියේ නව විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති සියලුම සංශෝධන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පිළිගන්නා බවයි.

මීට සති තුනකට පෙර විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ගත් අවස්ථාවේදී බොහෝ සංශෝධනවලට එකඟ වූ බව ඔහු පැවසීය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධන කාරක සභා අවස්ථාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව විජේසේකර පවසයි.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් බවටත් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම්දීමෙන් අනතුරුවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121/1 වගන්තිය ප්‍රකාරව ‘ශ්‍රී ලංකාවේ විදුලිය’ නම් පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් විය.

මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට නොගැළපෙන බවත් එය සම්මත කළ යුත්තේ 84 (2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර බලයෙන් පමණක් බවත් කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම්දෙමින් සඳහන් කළේය.

පනත් කෙටුම්පත එහි සාරාංශයේ දක්වා ඇති යෝජනා අනුව සංශෝධනය කළහොත් එම නොගැළපීම විසඳිය හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇතැයි කථානායකවරයා පැවසීය.