May 30, 2024

බැංකු ඇතුළු මූල්‍ය ආයතන වැනි විවිධ ආයතන විසින් පුද්ගලයන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු තම දෙපාර්තමේන්තුවට (IRD) සැපයිය යුතු බවට පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය පෞද්ගලික ආදායම් බදු ගෙවන්නන්ට පමණක් නොව සියලුම පුරවැසියන්ට අදාළ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

එම දෙපාර්තමේන්තුව පැහැදිලි කරන්නේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා පවතින නීතියට අනුකූලව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි.

ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර පවා අදාළ ආයතන විසින් තොරතුරු හුවමාරු කරගැනීම පිළිබඳ දැනුවත් කර ඇති බවත් පනතේ විධිවිධාන අනුව එම කටයුතු නිසියාකාරව සිදු නොවන බැවින් එම තොරතුරු කාර්තුමය වශයෙන් ලබාදෙන ලෙස දැනුම්දීම සඳහා ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ක්‍රියාවලියේදී පෞද්ගලික ආදායම් බදු ගෙවන්නන් හෝ පෞද්ගලික ආදායම් බදු නොගෙවන්නන් ලෙස වර්ගීකරණයක් කර නොමැති බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අදාළ ආයතන අසම්පූර්ණ තොරතුරු නොයැවීම සහ යොමු කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් ක්‍රියාවලිය විධිමත් කිරීමේ පියවරක් ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය සතියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජූලි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි, පුද්ගල වත්කම් පිළිබඳ තොරතුරු සන්තකයේ පවතින ආයතන කිහිපයකට එම තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බවට නියම කර ඇත.

ගැසට් නිවේදනයට අනුව, මෙය චංචල සහ නිශ්චල දේපළ යන දෙකටම අදාළ වන අතර, ඒවා පිළිබඳ තොරතුරු කාර්තුමය පදනමින් යොමුකළ යුතුය.

එකී තොරතුරු සැපයීමට වගකිව යුතු පාර්ශ්ව අතර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල්, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, භාණ්ඩ, වැඩ, හෝ උපදේශන සහ උපදේශන නොවන සේවා සැපයීම සඳහා කොන්ත්‍රාත්තු ලබා දීම භාර රජයේ ඕනෑම ආයතනයක නිලධාරීන්,මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඇතුළු ඕනෑම මූල්‍ය ආයතනයක් සහ කොළඹ කොටස් හුවමාරුවේ සභාපති ඇතුළත් වේ.