May 22, 2024

හෙටට (22) යෙදෙන වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බන්ධනාගාර රැඳවියන් 278 දෙනා අතර ගලගොඩත්තේ ඥාණසාර භික්ෂුව නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ නිකායේ සහ අමරපුර මහා සංඝ සභාවේ මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ආයාචනා කර තිබුණේ, ඥාණසාර භික්ෂුවට වෙසක් පොහෝ දින සමාව ලබාදෙන ලෙසයි.

බොදු බල සේනා මහලේකම් ඥාණසාර භික්ෂුවට, 2016 වසරේ අග භාගයේදී ඉස්ලාම් දහමට එරෙහිව සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම විය.

වැලිකඩ බන්ධනාගාරයෙන් 15 දෙනකු සහ මහර බන්ධනාගාරයෙන් 37 දෙනකු ඇතුළු දිවයින පුරා ඇතැම් බන්ධනාගාරවල රැඳවියන් සඳහා ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති සමාව හිමිවන පිරිස අතර කාන්තා රැඳවියන් දසදෙනෙකු ද වේ.

මෙලෙස සමාව ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේය.