April 24, 2024

වධහිංසා පැමිණවීමේ චෝදනාවලට ලක්ව සිටින ශ්‍රී ලංකා පොලිස්පති දේශබන්දු තෙනකෝන් හමුවීම සම්බන්ධයෙන් කැනේඩියානු ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියකු දැඩි විවේචනයට ලක්ව තිබේ.

Global News අනුව, ශ්‍රී ලංකා මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඡායාරූපවල දැක්වෙන්නේ කැනේඩියානු පීල් ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී නිෂාන් දොරේඅප්පා 2023 දෙසැම්බර් 29 වැනි දින කොළඹ පොලිස් මූලස්ථානයේ හමුවකදී මෙරට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ නිල ඇඳුමින් සැරසී සිටින අයුරුයි.

ඡායාරූපවල සිටින ශ්‍රී ලංකා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පුද්ගලයකුට “අනුකම්පා විරහිතව” පහරදීම සම්බන්ධයෙන් එම මාසය මුලදී වන්දි ගෙවීමට නියෝග කරන ලද අයෙකි.

2023 දෙසැම්බර් 14 වැනි දින, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, සොරකම් කළ බවට සැක කෙරෙන පුද්ගලයකු ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගෙන, පැය 24කට වැඩි කාලයක් පොලිස් ස්ථානයේ “වධකාගාරය” ලෙස හැඳින්වූ ස්ථානයේ රඳවා තබාගෙන හුස්ම හිර කර, ඔහුගේ ලිංගික අවයව මත මිරිස් කුඩු අතුල්ලමින් වධ හිංසා පැමිණවීමකට ද තෙන්නකෝන් සම්බන්ධ බවය.

කැනඩා පොලිස් නිලධාරියා ශ්‍රී ලංකා පොලිස්පති හමුවීමේ සිදුවීම එක්සත් රාජධානිය පදනම් කරගත් ටැමිල් ගාඩියන් පවත්වාගෙන යන වෛද්‍ය තුසියන් නන්දකුමාර් විසින් හැඳින්වූයේ “කැනඩාවේ කීර්ති නාමයට කැළලක්” ලෙසිනි.

මේ අතර Global News විසින් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කළ ඉල්ලීම දොරේඅප්පා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පීල් ප්‍රාදේශීය පොලිස් ප්‍රකාශකයෙක් පවසා තිබුණේ දොරේඅප්පාගේ ශ්‍රී ලංකා සංචාරය ‘පෞද්ගලික’ එකක් බවයි.

පීල් ප්‍රාදේශීය පොලිසිය සහ ශ්‍රී ලංකාවේ කිසිදු සංවිධානයක් අතර වැඩසටහනක් හෝ සහයෝගීතාවක් නොපවතී බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

එම සංචාරයේදී දොරේඅප්පා ඔහුගේ පීල් පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටිනු කිහිප වතාවක්ම ඡායාරූප ගත කර තිබේ.

කැනඩාවේ පළමු දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන Rathika Sitsabiesan පවසන්නේ යම් තැනැත්තකු නිල ඇඳුමක් ඇඳ සිටින විට ඔහු හෝ ඇය නියෝජනය කරන්නේ අදා සංවිධානය බවයි.

පීල් පොලිසිය පවසන පරිදි ඔවුන් සතු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එකම පොලිස් ප්‍රධානියා දොරේඅප්පා වේ.

පීල් ප්‍රකාශක පැවසුවේ දොරේඅප්පා පවුලේ නිවාඩුවක් සඳහා උපන් රටට ගොස් සිටියදී ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ ආරාධනයක් පිළිගෙන ඇති බවයි.

ඔවුන් එකට සමරු ඵලකයක් අතැතිව සිටින අයුරු සහ අමුත්තන්ගේ පොතකට අත්සන් කරන අතරතුර තෙන්නකෝන් දොරේඅප්පා පිටුපසින් සිටගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපවලින් ඔබ්බට දොරේඅප්පා තෙන්නකෝන් සෘජුවම හමුවී ඇත්දැයි යන්න ප්‍රකාශකයා තහවුරු කර නැත.

“පෞද්ගලික සංචාරයක් ලෙස සැලකුණු මෙම සංචාරය කැනඩා රජය සංවිධානය කළේ නැත. කෙසේවෙතත්, පීල් ප්‍රාදේශීය පොලිසිය සමඟ කැනේඩියානු රාජකීය පොලිසියේ සමීප සබඳතාවයට අනුව, කැනේඩියානු රාජකීය පොලිසියේ සම්බන්ධීකරණ නිලධාරියා ශ්‍රී ලංකාවේ පොලිස් ආයතන සම්බන්ධ විධිවිධාන සමඟ දොරේඅප්පාට පහසුකම් සැලසීමට ඉදිරිපත් විය,” යනුවෙන් කැනේඩියානු රාජකීය පොලිසියේ ප්‍රකාශකයෙක් Global News වෙත ප්‍රකාශ කර තිබේ.