April 24, 2024

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි නිල සංචාරයක් සඳහා මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් අද පෙරවරුවේ මෙරටට පැමිණියේය.

ඔහු උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ජල විදුලි බලාගාරය විවෘත කිරීම සඳහා එක්වීමට නියමිතව තිබේ.

එම උත්සවයෙන් පසුව, ජනාධිපති රයිසි කොළඹ බලා පිටත්ව යන අතර, පස්වරුවේ ඔහු පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වෙනු ඇත.

මෙම උත්සවයේදී ද්විපාර්ශ්වික ගිවිසුම් පහකට අත්සන් තැබීමට නියමිත අතර, එම අවස්ථාවට දෙරටේ ජනාධිපතිවරු සහභාගී වීමට නියමිතව තිබේ.

ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි 2021 වසරේ සිට ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටී.

මීට පෙර 2019 සිට 2021 දක්වා ඉරානයේ ගෞරවනීය අගවිනිසුරු ධුරය ද ඔහු විසින් හොබවා තිබේ.

ආචාර්ය රයිසි 2014 සිට 2016 දක්වා කාලය තුළ ඉරානයේ නීතිපතිවරයා ලෙස ද සේවය කර ඇත.

ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට පෙර ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබුණේ ශ්‍රී ලංකාව සමඟ ආර්ථික හා වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීම මෙරට සංචාරයේ එක් ඉලක්කයක් බවයි.

මෙම සංචාරය තාක්ෂණික සහ ඉංජිනේරු ක්ෂේත්‍ර ඇතුළු දෙරට අතර සහයෝගීතාවයේ සැළකිව යුතු වර්ධනයක් පිළිබඳ සහ ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා මට්ටම ඉහළ නැංවීමේ සන්ධිස්ථානයක් වනු ඇතැයි ඔහු විශ්වාසය පළකර තිබේ.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ විශේෂත්වය වනුයේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟින් සහභාගී වීමයි.

ඉරාන කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිකරන ලද වේලි දෙකක් සහ මෙගාවොට් 120ක බලාගාරයකින් සමන්විත උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ විශාලතම සිවිල් ඉංජිනේරු ව්‍යායාමයක් ලෙස ප්‍රශංසාවට ලක්වන අතර එහි වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 500කි.

ව්‍යාපෘතියේ අරමුණ වන්නේ කෘෂිකාර්මික ඉඩම් අක්කර 5000ක වාරිමාර්ග වැඩිදියුණු කිරීම, ජලය ඝන මීටර් මිලියන 145ක් මාරු කිරීම සහ වසරක් තුළ ගිගාවොට් පැය 290 විදුලිය ජනනය කිරීමයි.

ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබන මූල්‍යාධාර සමඟ, ඉරාන ඉංජිනේරුවන් 400කට අධික පිරිසක් එය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති අතර, උපදේශන සහ සැලසුම් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා දායක වී ඇත.