April 25, 2024

ශ්‍රී පාද වන්දනා සමයේ පසුගිය මාස පහ තුළ පමණක් නල්ලතන්ණියේ සිට ශ්‍රී පාද මාර්ගයේ පරිසරයට බැහැර කර ඇති කසළ ප්‍රමාණය ටොන් 25කට අධික බව මස්කෙළිය ප්‍රාදේශීය සභාව පවසයි.

එම ප්‍රාදේශීය සභාවේ පරිසර ප්‍රවර්ධන නිලධාරී රසිකා සමරනායක පවසන්නේ ඝන අපද්‍රව්‍ය තොගයේ ප්ලාස්ටික් බෝතල් ටොන් තුනක් පමණ තිබූ බවයි.

ශ්‍රී පාද වන්දනා සමයේ මාස හයක කාලය තුළ වන්දනාකරුවන් විසින් බැහැර කරන කසළ ඉවත් කිරීමේ වගකීම මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පරිසර ඒකකයට පැවරේ.

සෑම සතිඅන්තයකම, විශේෂයෙන් දීර්ඝ සතිඅන්ත නිවාඩු දිනවලදී වන්දනාකරුවන් පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, ඝන අපද්‍රව්‍ය ඇතුළු කසළ බැහැර කිරීම ඉහළගොස් ඇති බවත් පරිසර නිලධාරීවරිය පෙන්වා දෙයි.

මස්කෙළිය රිකාටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත කසළ එකතු කර ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ කම්කරුවන් කණ්ඩායමක් යොදවා ඇති බව ද ඇය පැවසුවාය.