April 6, 2024

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූ දිනයේ සිට 2024 පෙබරවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇති බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රංජිත් කීර්ති තෙන්නකෝන් පැවැසීය.

ශ්‍රී ලංකා රජය 2022 ජූලි 21 දින සිට 2024 පෙබරවාරි දක්වා බහු පාර්ශවීය ණය සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 1338.8 ක් ගෙවා ඇති අතර 2024 පෙබරවාරි දක්වා ගෙවීමට නියමිත ණය වාරික සහ පොලියේ කිසිදු හිඟ මුදලක් නැති බව ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රංජිත් කීර්ති තෙන්නකෝන් මේ බව සඳහන් කර සිටියේ අද (05) ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් කීර්ති තෙන්නකෝන් මෙසේද පැවසීය,

“විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුව ආසියානු සංවර්ධන බැංකුවට ඇ.ඩො.මිලියන 760.1ක් සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 7.0 ක්ද ගෙවා තිබෙනවා.

තවද යුරෝපීයානු ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 22.3ක් සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදලට ඇ.ඩො.මිලියන 17.9ක්ද, අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ EFF 23-26 වැඩසටහනට ඇ.ඩො.මිලියන 9.8ක් ද වශයෙන් ගෙවා තිබෙනවා.

එසේම නෝර්ඩියානු සංවර්ධන අරමුදලට ඇ.ඩො.මිලියන 1.7ක් ගෙවා ඇති අතර අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලට ඇ.ඩො.මිලියන 29.9ක් සහ ලෝක බැංකුවට ඇ.ඩො.මිලියන 489.9ක් ගෙවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඇ.ඩො.මිලියන 1,338.8ක් ණය සහ පොලිය වශයෙන් රජය විසින් ගෙවා අවසන් කර ඇති බව කිවයුතුයි.

රජයේ මෙම ණය ගෙවීමේ ප්‍රශස්ත වාර්තාව හේතුවෙන් ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව ප්‍රමුඛ ආයතන රජයට අඛණ්ඩව ණය සහ වෙනත් සහන ලබා දී ඇති බව ද සඳහන් කළයුතුයි.

මෙම කාලය තුළ ද්වි පාර්ශවීය ණය හා පොලිය වශයෙන් ඩොලර් මිලියන 571.0 ක් ද ගෙවා ඇති අතර මේ වන විට අදාල රාජ්‍යයන් සහ ආයතන සමඟ ණය සහ පොලිය ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවයන් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් තිබෙනවා.

ඊට අමතරව පැරිස් සමාජයට අයත් රාජ්‍යයන් ද ඇතුළුව ණය සහ පොලිය ගෙවීමට අදාල මුලික එකඟතාවයන් ගොඩ නඟා ගෙන ඇති අතර 2024 පෙබරවාරි මස අවසානය වන විට ගෙවිය යුතු හිඟ පොලිය ඩොලර් මිලියන 450.7 ක් වනවා.”