April 4, 2024

සමෘද්ධි බැංකු කලාප මට්ටමින් පවත්වන අලුත් අවුරුදු උත්සවවලදී කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම යන තරගවල නාමයන් සංශෝධනය කරන ලෙසට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකුවලට චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ.

ඒ අනුව කණා මුට්ටිය බිඳීම වාසනා මුට්ටිය බිඳීම ලෙසත්, අන්ධයාට කිරි කැවීම සගයාට කිරි කැවීම ලෙසත් හඳුන්වන ලෙසට එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත.

දෘශ්‍යාබාධිත ප්‍රජාවට දක්වන ගෞරවයක් වශයෙන් මෙම නාම සංශෝධනය කරන බවත්, සෑම සමෘද්ධි බැංකුවක්ම මේ මස 21 දින බක්මහ අවුරුදු උත්සවයක් පැවැත්විය යුතු බවත් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සී.ඩී. කළුආරච්චි චක්‍රලේඛය මඟින් දැනුම් දී තිබේ.

අලුත් අවුරුදු උත්සවයකට සමෘද්ධි බැංකුව මඟින් රුපියල් ලක්ෂයක්ද, ප්‍රජා මූල බැංකු අංශය මඟින් රුපියල් 15,000ක්ද පමණක් යොදන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී ඇත.

අප්‍රේල් 15 දින සමෘද්ධි බැංකුවට පැමිණෙන ගනුදෙනුකරුවන්ට දේශීය රසකැවිලිවලින් සංග්‍රහ කරන ලෙසත්, ඒ සඳහා බැංකුවේ අරමුදලින් රුපියල් 5,000ක් ලබා ගැනීමට අවසර තිබෙන බවත් එමඟින් දන්වා ඇත.

මෙදින බැංකුවට පැමිණෙන සෑම ගිණුම් හිමියකුටම රුපියල් දහයක කාසියක් තුටු පඬුරක් ලෙස බුලත් කොළයක තබා පිළිගන්වන ලෙසද උපදෙස් දී තිබේ.

එසේම රුපියල් 1000 හෝ එම අගය ඉක්මවන ඉතුරුම් සඳහා තිළිණයක් ලබාදෙන ලෙසත්, එසේ තිළිණ ලබන ගිණුම් හිමියන්ගේ තැන්පතු මාස 12ක් බැංකුවේ රඳවා තබාගත යුතු බවත් දැනුම් දී ඇත.(මව්බිම)