April 2, 2024

ඇතැම් ශ්‍රී ලාංකික මව්පියන් තම ළදරුවන්ට එන්නත් ලබා නොදීමේ ප්‍රවණතාවක් පවතින බව පෙනීගොස් තිබේ.

ක්ෂය රෝග පාලනය සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙය විනාශකාරී ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බවයි.

සංවර්ධිත රටවල ඇතැම් මව්පියන් තම දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන්නේ ඔවුන් ඉපදී වසරකට පමණ පසුව වන අතර මේ පිළිබඳ අන්තර්ජාලයෙන් දැන ගන්නා මෙරට මව්පියන් ද එන්නත් ලබාදීම ප්‍රමාද කිරීමට පටන්ගෙන ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

“උතුරු අමෙරිකාවේ සහ යුරෝපයේ සංවර්ධිත රටවල ළමුන් දේශගුණික හා වෙනත් සාධක නිසා අපේ වගේ බෝවන රෝගවලට නිරාවරණය වෙන්නේ නැහැ. කෙසේවෙතත්, නිවර්තන රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල තත්ත්වය වෙනස්. දරුවන්ට අවුරුදු පහක් වනතුරු, ඉතා අඩු ප්‍රතිශක්තියක් තියෙන්නේ. රෝග වැළඳීමෙන් පසු ඒවාට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වනවා. ක්ෂය රෝගය වැනි බරපතළ රෝග සම්බන්ධයෙන් සළකා බැලිය යුතු ප්‍රශ්නය වෙන්නේ අපි දරුවන්ට එන්නතක් ලබා දෙනවාද නැතහොත් රෝගය වැළඳීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමේ අවදානමක් ගන්නවාද කියන එකයි” යනුවෙන් ක්ෂය රෝග පාලනය සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ සැලසුම්, අධීක්ෂණ සහ ඇගයීම් ඒකකයේ කණ්ඩායම් නායක වෛද්‍ය මිසායා කාදර් පැවසුවාය.

වෛද්‍ය කාදර් පැවසුවේ ශ්‍රී ලංකාවේ යහපත් සෞඛ්‍ය දර්ශක සඳහා එන්නත් ලබාදීම ප්‍රධාන හේතුවක් වී ඇති අතර ශ්‍රී ලාංකික දරුවන් අතර ක්ෂය රෝගය ඉතා අඩු මට්ටමක පවතින බවයි.

ශ්‍රී ලංකාවේ වසරකට ක්ෂය රෝගය වැළඳෙන්නේ ළමුන් 215කට පමණ බවද ඇය පැවසුවාය.

වෛද්‍ය කාදර් පැවසුවේ සංසන්දනාත්මක වෙනත් රටවල ක්ෂය රෝගීන්ගෙන් සියයට 5ත් 15ත් අතර ප්‍රමාණයක් ළමුන් වන නමුත් ශ්‍රී ලංකාවේ එම සංඛ්‍යාව සියයට තුනක් පමණක් බවයි.

“අපගේ එන්නත් වැඩසටහන්වල සාර්ථකත්වය මෙම අඩු සංඛ්‍යාවට ප්‍රධාන හේතුව වෙන්න පුළුවන්,” යනුවෙන් ඇය පැවසුවාය.

2023 වසරේ දී ශ්‍රී ලංකාව තුළ ක්ෂය රෝගීන් 9,538ක් වාර්තා වී ඇති අතර 2022 දී වාර්තා වූ රෝගීන් ගණන 8,500ක් පමණ වේ.

වෛද්‍ය කාදර් පැවසුවේ ලෝකයේ බොහෝ රටවලින් වාර්තාවන ක්ෂය රෝගීන් සංඛ්‍යාව ඉහළගොස් ඇති බවයි.

කොවිඩ් වසංගතය අතරතුර අවධානය වෙනතකට යොමුවීම ඊට හේතුව බව ද ඇය පැවසුවාය.

“පෝෂණ මට්ටම පහත වැටීමට හේතුවුණු ආර්ථික අර්බුදය මිනිසුන්ගේ ප්‍රතිශක්තිය අඩුවීමට ද හේතු වෙන්න ඇති. මෙය ක්ෂය රෝගය වැඩි වෙන්න හේතු වෙන්න පුළුවන්. අපට හමුවන ක්ෂය රෝගීන්ගෙන් සියයට 25කගේ පමණ ශරීර ස්කන්ධ දර්ශකය අඩුයි.” යනුවෙන් වෛද්‍ය කාදර් සඳහන් කළාය.

එපමණක් නොව, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා ඇති අය මෙන්ම ප්‍රතිශක්තිය අඩු කරන තත්ත්වයන් සහ හැසිරීම් ඇති අය ද ක්ෂය රෝගයට ගොදුරු වන බව ඇය පැවසුවාය.

ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පැවසුවේ, ක්ෂය රෝගය වැළඳී ඇති බව ජනතාව දැනගෙන ප්‍රතිකාර ලබා ගැනීම අතිශයින්ම වැදගත් බවයි.

ප්‍රතිකාර නොලබන ක්ෂය රෝගියකුගෙන් අවම වශයෙන් වසරකට පුද්ගලයන් 12 දෙනෙකු අතර සාමාන්‍යයෙන් රෝග පැතිර යෑමට හැකි බව ඔහු පැවසීය.

“ඔබ බෙහෙත් ගන්නා විට පවා, ඔබ බෙහෙත් ගැනීමට පටන්ගත් දින සිට සති හයක් පමණ යනතුරු අන් අයට පැතිරවීමේ හැකියාව තිබෙනවා. ඔබ බෙහෙත් නොගන්නා තාක් කල්, ඔබ දිගටම රෝගය අන් අයට බෝ කරනවා.” යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.