March 29, 2024

බුලත්කොහුපිටිය, තුම්හාගේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ වැසිකිළි වළක් කපද්දී තඹ යකඩ පිත්තල මිශ්‍ර කාසි තොගයක් හමුවූ බව විහාරාධිපති මල්වානේ සෝනුත්තර නාහිමියෝ කීහ.

වසර සීයයක් පමණ පැරණි විහාරස්ථානයක් වන මෙහි වැසිකිළි වළ අඩි පහක් හයක් හැරීමේ දී සාමාන්‍ය ප්‍රමාණයක මුට්ටියක දමා තිබී මෙම කාසි තොගය හමුවී ඇත.

තාච්චි බාගයක ප්‍රමාණයක කාසි මෙහි ඇති අතර මේ පිළිබඳව බුලත්කොහුපිටිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව පුරාවිද්‍යා නිලධාරීන් ද දැනුවත් කළ බව සෝනුත්තර නාහිමියෝ කීහ.

මෙම කාසි පොලොන්නරුව යුගයට අයත් දෙවැනි පරාක්‍රමබාහු රජු සමයේ පාවිච්චි කළ මැස්ස නමැති කාසිවලට සමානකමක් පෙන්නුම් කරන බවට අන්තර්ජාලයේ තොරතුරු අනුව පෙනී යන බව උන්වහන්සේ පැවැසූහ.(ලංකාදීප)