March 28, 2024

භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හරහා රජයට රුපියල් මිලියන 1,843.3ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව් දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පවරා තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අදාළ විමර්ශනවලින් අනතුරුව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ඊයේ ගොනු කළ බව අල්ලස්  කොමිසම ප්‍රකාශ කළේය.

2012 වසරේ ග්‍රීසියේ පැවති මූල්‍ය අර්බුදය අතරතුර ග්‍රීසියේ රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පූර්ව දැනුවත්භාවයක් ඇතිව සිදු කරන ලද මෙම භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 1,843,267,595ක පාඩුවක් සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

ඒ අනුව විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අජිත් නිවාඩ් කබ්රාල්, කංකානම්ගේ ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ, බෙන්දරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ හරංකහ ආරච්චිලාගේ කරුණාරත්න යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අංක 227/H202 යටතේ නඩුව ගොනු කර ඇත.