March 26, 2024

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් නියෝග කර තිබේ.

ඒ අනුව, තුවක්කුකරුවකු විසින් 81 වර්ගයේ ප්‍රහාරක රයිෆලයක් යොදාගෙන මහේස්ත්‍රාත්වරයා ඝාතනය කිරීමට තැත්කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් ලබාදී තිබේ.

මේ පිළිබඳ විමර්ශනය ආරම්භ කර ඇත්තේ රජයේ ඔත්තුකරුවකු විසින් ලිඛිතව ලබාදුන් ඔත්තුවක් මතය.

මහේස්ත්‍රාත්වරයා දුන් ඇතැම් නඩු තීන්දු මත මහේස්ත්‍රාත්වරයාගේ ජීවිතය ‘අවසන් කිරීම’ සඳහා 81 වර්ගයේ ප්‍රහාරක රයිෆලයක් අවශ්‍ය බවට තුවක්කුකරු දුරකථන ඇමතුම් ලබාදී ඇති බව ඔත්තුකරු හෙළිකර තිබේ.

ඔත්තුකරු විසින් තුවක්කුකරුගේ සම්බන්ධතා අංකය ඇතුළු තොරතුරු විමර්ශන නිලධාරීන්ට ලබා දී ඇත.

ඔත්තුව ලැබුණු පසු ඇමැතිවරයා නියෝග කළේ, මෙවැනි ක්‍රියාමාර්ග මගින් දැනට ක්‍රියාත්මක ‘යුක්තිය’ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමට සහ පාතාලය මර්දනයට බාධාවක් විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි.