March 19, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වී තිබේ.

ඒ අනුව, එම කමිටුවේ නව සභාපතිවරයා ලෙස රෝහිත අබේගුණවර්ධන පත්කිරීමෙන් පසු කමිටුවෙන් ඉල්ලා අස්වූ දෙවැනි සාමාජිකයා ඔහුය.

මීට පෙර ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ද එම කමිටුවෙන් ඉල්ලා අස්වී තිබිණි.

‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, චෝදනා කිහිපයක් එල්ල වී ඇති සභාපතිවරයකු සමඟ තමාට කටයුතු කළ නොහැකි බවයි .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අරගලයෙන් ඉගෙන ගෙන ජනතාවට ගරු කිරීමට අපොහොසත් වීම කණගාටුවට කරුණක් බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

දූෂණයෙන් වළකින ලෙස රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දීමට නම් පාර්ලිමේන්තුවේ කාරක සභා ද දූෂණයෙන් තොර විය යුතු බව ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.