March 19, 2024

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය දා අධිකරණයට රැගෙන ඒමට යොදාගත් වාහනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි සමයේ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් නීතිවිරෝධී ලෙස ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ඔහු දැනට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

ලංකාදීප පුවත්පතට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව කෙහෙළිය රඹුක්වැල්ල රැගෙන ඒමට යොදාගත් වෑන් රථය එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ළමා හදිසි අරමුදල (UNICEF) විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට විශේෂයෙන් තෑගි කර ඇත්තේ සිරකරුවන්ගේ දරුවන් ප්‍රවාහනය කිරීම සඳහාය.

මෙම වෑන් රථය කිසිවිටෙකත් රැඳවියන් ප්‍රවාහනය සඳහා භාවිත නොකළ යුතු බවත්, දරුවන් සඳහා පමණක් භාවිත කළ යුතු බවටත් වන කොන්දේසි සහිතව යුනිසෙෆ් ආයතනය එය තෑගි කර ඇති බව පැමිණිලිකරු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රවාහනය සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අදාළ වාහනය යොදා ගනිමින් එම කොන්දේසිය කඩ කර ඇති බවටද පැමිණිලිකරු චෝදනා කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ මෙම පැමිණිල්ල අනුවයි.