March 19, 2024

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වසරේ අවසන් කාර්තුවේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත්කළහොත් ඒ සඳහා ඒකාබද්ධ අරමුදලින් මුදල් ලබාගැනීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

එලෙස හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත් කළහොත් වත්මන් ආණ්ඩුවට තවත් රුපියල් බිලියන 11ක් අවශ්‍ය වනු ඇත.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා 2024 අයවැයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් වෙන්කර ඇති රුපියල් බිලියන 10කට අධික මුදලට අමතර වශයෙනි.

මෙවර අයවැයෙන් මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව නොමැති බැවින් ඒ සඳහා මුදල් වෙන් කර නොමැති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයකු පැවසීය.

කෙසේවෙතත්, හදිසි මහ මැතිවරණයක් කැඳවීම සඳහා ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අභිමතය ජනාධිපති රනිල් වික්‍රමසිංහට තිබේ.

එසේම ඔහු විසින් ප්‍රකාශ කළහොත් මහමැතිවරණය පැවැත්වීම සඳහා ඒකාබද්ධ අරමුදලින් මුදල් වෙන් කිරීමට ද ඔහුට බලය තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට දින නියම කළ හැකි බවයි.

ඒ සඳහා පාර්ලිමේන්තුව දැනටමත් ප්‍රතිපාදන සලසා නොමැති නම්, මැතිවරණ බලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය වියදම් සඳහා ඒකාබද්ධ අරමුදලින් ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපතිවරයාට අවසර දිය හැකිය.

මේ වන විට, රජය ගෙනයෑම සඳහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සහාය සහතික කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණයක් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

කෙසේවෙතත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පවසන්නේ මහමැතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවයි.