March 19, 2024

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මාණශීලි නිපැයුම් හා නව සොයාගැනීම් ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගැයීමට ලක්කිරිම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සමිමාන ප‍්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විව් උත්සව ශාලාවේදී පැවැත්විණි.

2023 වර්ෂයේ මුල සිට අග දක්වා කාළය තුළ ගුවන් හමුදාවේ එක් එක් වෘත්තින්ට අදාළ විශිෂ්ඨතම ගුවන් භටයා තේරීම, පිළිගත් ක‍්‍රමවේදයකට අනුව එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අධික්ෂණයන් යටතේ සිදුකිරිමෙන් අනතුරුව, ගුවන් හමුදාධිපතිවරයා විසින් පත්කරනු ලබන කමිටුවේ නිර්දේශයන්ට අනුව, වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා හා ගුවන් කාන්තාව වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සමිමාන ලබා තිබේ. එසේම නව සොයාගැනිම් හා නව නිපැයුම් සිදුකරනු ලබන කාණ්ඩායම් සදහාද මෙහිදි සමිමාන පිරිනමා ඇත.

ඒ අනුව, 2023 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස ගුවන් හමුදා මොරවැව කදවුරේ රෙඡිමේන්තු විශේෂ බලකායට අනුයුක්තව සේවය කරනු ලබන බලපංති සැරයන් සම්පත් කුමාර පිදුම් ලැබා ඇති අතර, විශිෂ්ඨතම ගුවන් කාන්තාව ලෙස ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ රෙජිමේන්තු පුහුණු පක්ෂාංගයට අනුයුක්තව සේවය කරනු ලබන කෝප‍්‍රල් ඉසන්කා රාමනායක පිදුම් ලබා තිබේ.

කණ්ඩායම් අංශයෙන් “විශිෂ්ඨතම පර්යේෂණ කණ්ඩායම” ලෙස මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණ කණ්ඩායම සම්මානය දිනාගෙන තිබේ. “ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉන්ද්‍රා මාර්ක් II රේඩාර්හි තත්‍කාලීන රේඩාර් දත්ත ප්‍රධාන ගුවන් ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ලබාගැනීම” පිළිබඳ පර්යේෂණ සඳහා මෙම සම්මානය දිනාගෙන ඇත.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරිතුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා නිළධාරින් සෙසු නිළයන් හා සමිමාන ලැබු ගුවන් හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයෝ සහභාගිවී තිබේ.