March 18, 2024

පාර්ලිමේන්තුව සහ දේශපාලන පක්ෂ කෙරෙහි මහජන විශ්වාසය මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කර ඇතැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව කෙරෙහි සියයට 22ක ජනතා විශ්වාසයක් ද දේශපාලන පක්ෂ සඳහා සියයට 19ක විශ්වාසයක් ද පෙන්නුම් කර ඇත.

‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ සමීක්ෂණය’ නම් වූ මෙම සමීක්ෂණයට පසුගිය ජනවාරි මාසයේදී දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් 1,350ක පිරිසක් සම්බන්ධ කරගෙන තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි විශ්වාසය හීනවීම සහ ඒකාධිපතිවාදය කෙරෙහි ඇති ආකල්ප පිළිබඳ මෙම සමීක්ෂණයෙන් පෙන්නුම් කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසයි.

සමීක්ෂණයේ සොයාගැනීම්වලට අනුව, හමුදාව සහ අධිකරණය රටේ වඩාත්ම විශ්වාසදායක ආයතනය ලෙස පිළිගැනීමට ලක්ව තිබේ.

පොලිසියට ඇත්තේ හමුදාවට හා අධිකරණයට සාපේක්ෂව අඩු මහජන විශ්වාසයකි.

කෙසේවෙතත්, ව්‍යවස්ථාදායක ආයතන සහ නීති සම්පාදනයට සහභාගී වන ආයතන සහ දේශපාලන පක්ෂ කෙරෙහි කෙරෙහි මහජන විශ්වාසය හමුදාවට සහ අධිකරණයට සාපේක්ෂව අඩු පමණක් නොව, පසුගිය දශකය තුළ පසුබෑමක් ද අත්විඳ ඇත.

2011 දී ශ්‍රී ලාංකිකයන්ගෙන් 63% ක් පාර්ලිමේන්තුව එහි කාර්යභාරය ඉටු කිරීමට විශ්වාස කළ නමුත් 2024 දී එය 22% දක්වා පහත වැටී තිබේ.

මෙම සමීක්‍ෂණ මාලාවේ පරීක්‍ෂාවට ලක් වූ ආයතන අතරින් දේශපාලන පක්‍ෂ කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය අවම මට්ටමක පවතී.

දේශපාලන පක්ෂ කෙරෙහි පැවති මහජන විශ්වාසය 2011 දී 56% සිට 2024 දී 19% දක්වා පහත වැටී ඇත.

මේ අතර, ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් 10 දෙනකුගෙන් 1ක් අයෙක් අධිකාරීවාදී පාලනයක් සඳහා කැමැත්ත ප්‍රකාශ කළ අතර, එය 2018 සිට ප්‍රවණතාවයේ සැළකිව යුතු වැඩිවීමක් සනිටුහන් කරයි.

බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට පක්ෂව සිටියද, “සමහර තත්වයන් තුළ, ප්‍රජාතන්ත්‍රවාදී රජයකට වඩා ඒකාධිපති ආණ්ඩුවක් වඩාත් යෝග්‍ය විය හැකිය” යන කණස්සල්ලට පත්වන හැඟීමක් සමීක්ෂණය මගින් පෙන්නුම් කර තිබේ.

කොළඹ පදනම් වූ ප්‍රමුඛ චින්තන පර්ශදයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අවධාරණය කළේ , ඒකාධිපතිවාදයට සහය දැක්වීමේ ඉහළ යෑම 2018 සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ ඇති වූ දේශපාලන පෙරළිය සමග සමපාත වූ බවයි.