March 2, 2024

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට 2022/07/09 වැනි දින අයුතු ලෙස ඇතුල් වී නිවස තුළ තිබූ බෝතලයක් තුළ වූ රුවල් නැවක ආකෘතියක් සොරකම් කිරීමේ වරදට නො.21/1,ඒ 03 වන පටුමග, කටුවාවල මාවත, ඇඹිල්ලවත්ත පාර,බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි චූදිත අබේධීර ආරච්චිගේ දිල්රුක් මධුශංක නමැත්තාට අධිකරණය දඬුවම් පමුණුවා ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 394 වගන්තිය යටතේ නිතිපති උපදෙස් ප්‍රකාරව ගල්කිස්ස ම/උ 22689/23 යටතේ නඩු පවරා වරද පිළි ගැනීමෙන් පසු අදාළ පුද්ගලයාට ඊයේ මාස 6ක බරපතල වැඩ සහිත සිරදඩුවම් පමුණුවා එය අවුරුදු 5කට අත්හිටුවා තිබේ.

2022/07/09 වන දින වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුල් වී නිවස තුළ තිබූ ලෝහමය හක් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට දණ්ඩ නීති සංග්‍රහයේ 394 වගන්තිය යටතේ නිතිපති උපදෙස් ප්‍රකාරව අංක 133/ඒ, අබේරත්න මාවත, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි චූදිත හේවාරුහුණගේ සුපුන් හන්සක යන අයටද දඬුවම් පමුණුවා ඇත.

එම දඩුවම වසර 1 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් අවුරුදු 5කට අත්හිටුවමින් පමුණුවා තිබේ.

එසේම මුදලින් 1500/-ක දඩය නොගෙවන්නේ නම් මාසයක බරපතල වැඩ සහිත සිරදඩුවම්ද නියම කර ඇත.