
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ඊයේ (28) අහෝසි වී එහි පාලනය සභාවේ ලේකම් යටතට පත්ව තිබේ.
පළාත් පාලන ආඥා පනතට 2017 එක්වූ නව සංශෝධනයේ 262 අධිකාරියේ 66 ආ වගන්තියට අනුව එම ප්‍රාදේශීය සභාවේ බලය අහෝසි වන බව දකුණු පළාත්, පළාත්පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර පවසා ඇත.
පනතට අනුව ප්‍රාදේශීය සභාවට දෙවැනි වතාවට පත්වූ සභාපතිවරයා ඉදිරිපත් කළ දෙවැනි අයවැය ලේඛනය ද ඊයේ (28) පරාජයට පත්වීම නිසා මෙලෙස සභාව නියමිත කාලයට පෙර අහෝසි වූ බව ඔහු පවසයි.
පළාත් පාලන ආයතනයක් මැතිවරණ ඉතිහාසයේ මේ ආකාරයට අහෝසි වන ප්‍රථම අවස්ථාව මෙය බවද හෙතෙම සඳහන් කර තිබේ.
අයවැය පරාජයට පත්වීමත් සමග තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රකාශයට පත්කර ඇත.
ඔහුගේ අස්වීමත් සමග සියලු සභිකයන්ගේ ධුරයන් ද අහෝසි වී යන බවද හෙතෙම පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා දෙවැනි වරට ද පත් වූ සභාපති විසින් 2024 වර්ෂය සඳහා ඊයේ (28) ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ඡන්දයෙන් පරාජය වීම නිසා මෙම තත්ත්වයට ඇති වී තිබේ.
මෙතෙක් දිවයිනේ පැවැති සක්‍රීය එකම ප්‍රාදේශීය සභාව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව විය. එහි බලය හිමිව තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. එහි සභාපති තනතුර හොබවන ලද්දේ නලීන් චමින්ද ප්‍රියදර්ශන විසිනි.
සභාපතිවරයාගේ ඉල්ලීම අනුව ලේකම් අනූෂා ප්‍රියදර්ශනී විසින් 2024 වර්ෂය සඳහා වූ අයවැය ඡන්ද විමසීම සිදුකර ඇත.
එහිදී පාලක පක්ෂයට ඡන්ද 12ක් හිමි වූ අතර, විරුද්ධව ඡන්ද 14ක් ප්‍රකාශ වී තිබේ.
ඒ අනුව, වැඩි ඡන්ද 02කින් අයවැය පරාජයට පත් වූ බව ලේකම්වරිය ප්‍රකාශ කර ඇත.
ප්‍රාදේශීය සභාවේ මීට පෙර වසර 04ක කාලයක් සභාපති වශයෙන් කටයුතු කළ කරුණාසේන පොන්නම්පෙරුමගේ පාලනයට එරෙහිව පාලක පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව විරෝධතා පවත්වමින් 2024 වර්ෂය වෙනුවෙන් ප්‍රථමවරට ඉකුත් වසරේ දෙසැම්බර් 5 වැනිදා ඉදිරිපත් කළ අයවැය පරාජය කළහ.
එමනිසා දෙවැනිවරට ද දෙසැම්බර් 18 වැනිදා අයවැය ඡන්ද විමසීම සිදුකර ඇත.
එහිදී ද අයවැයට පක්ෂව ඡන්ද 09ක් සහ විරුද්ධව ඡන්ද 19ක් ප්‍රකාශ වීම නිසා හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුමට සභාපති තනතුර අහිමි වී තිබේ.
අනතුරුව දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සභාවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා උප සභාපති ජයසේන නාගොඩවිතාන පත්කර තිබූ අතර, සභාවේ අභිනව සභාපති වශයෙන් නලීන් චමින්ද ප්‍රියදර්ශන පත්කරමින් ඉකුත් ජනවාරි 28 වැනිදා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
ඒ අනුව, පෙබරවාරි 01 වැනිදා ඔහු අභිනව සභාපති වශයෙන් දිවුරුම් දී තිබේ.
ඔහු විසින් 2024 වර්ෂය සඳහා ප්‍රථම වරට පෙබරවාරි 21 වැනිදා ඉදිරිපත් කළ අයවැය පරාජයවීම නිසා ඊයේ දෙවැනි වරට අයවැය ඉදිරිපත් කර ඇත.
එම අයවැය ද ඡන්ද 02කින් පරාජය වීම නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව බලශූන්‍ය තත්ත්වයට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් රනිල් වික්රමසේකරගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, සභාපතිවරුන් දෙදෙනකු දෙවරකදී අයවැය පරාජයට පත් වුවහොත් පළාත් පාලන ආඥා පනතේ 262 වෙනි අධිකාරියේ 66 ආ වගන්තිය අනුව ප්‍රාදේශීය සභාවේ බලය ශුන්‍ය වී කොමසාරිස්වරයකුගේ පාලනයට යටත් වන බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart