January 15, 2024

ආදායමක් ලබාගත නොහැකිවීම නිසා වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය පවසයි.

ජනවාරි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට රජය පියවර ගැනීම සම්බන්ධයෙන් එම සංගමයේ සභාපති අජිත් උඩුගම ‘අරුණ පුවත්පත’ට ප්‍රකාශ කර ඇත්තේ, සියයට 3000ක පමණ ප්‍රතිශතයකින් මෙම ගාස්තු වැඩි කිරීම ඉතා අසාධාරණ බවත්, ඊට එරෙහිව කඩිනමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

රුපියල් ලක්‍ෂ 10ක වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ දැමීම හරහා, එය ගෙවීමට නම් මසකට ලක්ෂ 10කට වඩා මුදලක් වෙන්කළ යුතු බවද සභාපතිවරයා සඳහන් කරයි.

දිනකට ලක්ෂ පහක ආදායමක් ලබන්නෙකුට වුවද මෙවැනි අධික වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තුවක් ගෙවීමට හැකියාවක් නොමැති බැවින් වහාම මෙය ඉවත්කර ගන්නා ලෙස එම සංගමය රජයෙන් ඉල්ලීමක්ද කරයි.

සියයට 18 වැට් බද්ද සහ ආදායම් බදු අතරට මෙවැනි අධික සුරාබදු බලපත්‍ර ගාස්තුවක් ගෙවීමට සිදුවීම හරහා ඉදිරියේදී සියලුම මත්පැන් අලෙවිසල් වසා දැමීමට සිදුවන බවද හෙතෙම පවසයි.

එමෙන්ම රජයේ මෙවැනි අසාධාරණ තීන්දු තීරණ හරහා නීතිවිරෝධී මත්පැන් අලෙවිය ඉහළ යෑම වැළැක්විය නොහැකි බවත්, මත්පැන් බෝතලයක මිලද අධික ලෙස ඉහල දැමීමත් සමග ඒවායේ අලෙවිය විශාල ලෙස පහත වැටී ඇති පසුබිමක මෙවැනි අසාධාරණ ලෙස සුරාබදු බලපත්‍ර ගාස්තුවද ඉහළ දැමීම නොකළ යුත්තක් බවත්, සභාපතිවරයා පෙන්වා දෙයි.