December 11, 2023

ඉදිරි වසර තුළ ධනවත් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

පසුගියදා පැවති ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව සඳහන් කර ඇත.

2024 දී සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සමගාමීව සකස් කිරීම කෙරෙහි ද කමිටුවේ අවධානය යොමුව තිබේ.

කමිටුව අමතමින් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ, ‘හෝම් ස්ටේ’ සංකල්පය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ඔවුන් පිළිගැනීමට මෙරට සාමාන්‍ය සමාජය සූදානම් විය යුතු බව කමිටුව පෙන්වා දී ඇත.

ඒ අනුව සංචාරකයන්ගෙන් මුදල් වංචා කිරීම නවතා සංචාරකයන් ගෞරවාන්විතව පිළිගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස පැමිණ සිටි මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ.

මේ වන විට තෝරාගත් ප්‍රදේශයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වන බව නිලධාරීහු පවසා ඇත.

එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් සංචාරක ආකර්ෂණයට ලක්වන ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය සඳහා ක්‍රමවේද සකස් කිරීම වැදගත් බව ද කමිටුව පෙන්වාදී තිබේ.