December 9, 2023

ලියාපදිංචි හිමිකරුගේ විරෝධය නොතකා නිසි පරිදි වාරික නොගෙව්වේ යැයි චෝදනා කරමින් ලීසිං පහසුකම් යටතේ ලබාදී තිබූ වාහනයක් බලහත්කාරයෙන් පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා ලබන ජනවාරි 30 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින්නැයි දන්වා ප්‍රධාන පෙළේ ලීසිං සමාගමක වගකිවයුතු නිලධාරීන් වෙත සිතාසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර ඇත.

තමන් විසින් එම සමාගමට ගෙවීමට තිබූ හිග වාරික මුදලින් අඩකටත් වඩා ගෙවා තිබියදීත් එලෙස පැහැරගෙන ගිය වාහනය මේ වනවිට කොටස්වලට ගලවා දමා ඇති බව මුදල් අයකර ගැනීමේ ප්‍රධාන නිලධාරියා ඇතුළු බලධාරීන් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ල මගින් වාහන ලියාපදිංචි අයිතිකරු වන දේශාන් චතුරංග නමැත්තා අධිකරණයට පවසා තිබේ.

සිය සේවාදායකයාගේ වාහනය පැහැරගෙන යෑමෙන් එකී සමාගම මූල්‍ය හා කල්බදු පනත ඉතා බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව පැමිණිලිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දුමේෂ් කාරියවසම් අධිකරණයට පෙන්වාදී ඇත.