November 26, 2026

දික්කසාද නඩුවකට අදාළව රුපියල් 65,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කොළඹ උතුර කාති උසාවියේ කාති විනිසුරුවරයකු සහ කාන්තාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාති විනිසුරු මොහොමඩ් සවාහීර් මොහොමඩ් රමීස් සහ ෆාතිමා නස්රීනා යන සැකකරුවන් දෙදෙනාය.

කොළඹ උතුර කාති විනිසුරු කාර්යාලය තුළදී මෙම කාති විනිසුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත යටතේ පැමිණිලිකරුගේ බිරිඳ විසින් ගොනුකර තිබූ දික්කසාද නඩුවක සහ වන්දි නඩුවක තීන්දුව පැමිණිලිකරුට වාසිදායක වන අයුරින් ලබා දීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026 දෙසැම්බර් 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.