November 26, 2026

කුලය සඳහන් කරමින් පළකරන මංගල දැන්වීම් තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සැලසුම් කර ඇති බවට පළ වූ ජනමාධ්‍ය වාර්තා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ (25) පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, ඇතැම් ජනමාධ්‍ය ආයතන අමාත්‍යවරියගේ ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම සන්දර්භයෙන් බැහැරව ගෙන නොමඟ යවනසුලු සිරස්තල පළකර ඇති බවයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය තුරන්කිරීමේ දින 16ක ජාතික වැඩසටහන පිළිබඳව පැහැදිලි කිරීම සඳහා නොවැම්බර් 23 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජනමාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.

එම ජනමාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර තිබුණේ, කුලය වැනි සමාජ නිර්ණායක සඳහන් කරමින් පළකරන මංගල දැන්වීම් හේතුවෙන් සමාජයේ ඇතැම් කොටස් හිරිහැරයට හා වෙනස්කොට සැලකීමට ලක්වන බැවින්, ඒ සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුතුද යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබුණේ, පෞද්ගලික තීරණ ගැනීමේදී ඇතැම් කරුණු නොසලකා හැරිය හැකි බවයි.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මිථ්‍යා විශ්වාස, වශී ගුරුකම් සහ ගුප්ත විද්‍යා කටයුතු ප්‍රවර්ධනය කරමින් පළකෙරෙන නොමඟ යවනසුලු දැන්වීම් බහුල වීම පිළිබඳව ද ඇය එහිදී අවධානය යොමුකළ අතර, ඒවා සමාජයට සහ තරුණ පරපුරට අහිතකර ලෙස බලපාන බව පෙන්වාදුන්නාය.

ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් ස්ථාපිත කිරීමේ නීති හඳුන්වාදීමේ සැලසුම්වලදී සලකා බැලූ කරුණු අතරට එවැනි ගැටලු ද ඇතුළත් වූ බව අමාත්‍යවරිය පැහැදිලි කර තිබිණි.

“මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි. ඕනෑම සමාජයක් පසුපසට නොව ඉදිරියට යමින් ප්‍රගතිය කරා ගමන් කළ යුතුයි” යනුවෙන් ඇය පවසා තිබිණි.

මංගල දැන්වීම් නියාමනය කිරීමට හෝ කිසිදු සංස්කෘතික අනන්‍යතාවක් විවේචනය කිරීමට, ප්‍රශ්න කිරීමට හෝ තහනම් කිරීමට ඇයගේ ප්‍රකාශයන් මගින් කිසිදු අදහසක් පළනොවූ බව අමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.