November 24, 2026

සාමාන්‍ය තත්ත්වයට වඩා විශාලව සහ දීප්තිමත්ව දිස්වන ‘සුපිරි චන්ද්‍රයා’ (Supermoon) නම් තාරකා විද්‍යාත්මක සංසිද්ධිය හේතුවෙන් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවේ අහස් නිරීක්ෂකයින්ට අපූරු අවස්ථාවක් උදා වන බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසයි.

චන්ද්‍රයා සිය ඉලිප්සාකාර කක්ෂයේ ගමන් කරමින් පෘථිවියට ඉතා සමීප වන අවස්ථාවකදී සුපිරි චන්ද්‍රයා ඇති වන අතර, එමඟින් චන්ද්‍රයා කැපී පෙනෙන ලෙස විශාලව සහ දීප්තිමත්ව දිස්වන බව ඔහු පැහැදිලි කළේය.

පෘථිවියේ සිට චන්ද්‍රයාට ඇති සාමාන්‍ය දුර කිලෝමීටර 384,000ක් පමණ වේ. කෙසේ වෙතත්, අද රාත්‍රියේ චන්ද්‍රයා පෘථිවියට ආසන්න වශයෙන් කිලෝමීටර 360,000ක දුරකට පැමිණෙන අතර, එය සාමාන්‍ය දුරට වඩා කිලෝමීටර 25,000ක් පමණ සමීප වීමකි.

එහි ප්‍රතිඵලයක් ලෙස, සාමාන්‍ය පුරහඳකට වඩා සුපිරි චන්ද්‍රයාගේ විෂ්කම්භය ආසන්න වශයෙන් 6.5%කින් විශාලව සහ දීප්තිය ආසන්න වශයෙන් 14%කින් වැඩිව දිස්වනු ඇත.

රාත්‍රියේදී පැහැදිලි අහසක් පවතින්නේ නම්, මෙම අපූරු ස්වාභාවික සංසිද්ධිය නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.