November 22, 2026

මෑතකදී ‘බිලෝන්ගින්’ (Belonging) නමින් සිය මතක සටහන් ග්‍රන්ථය එළිදැක්වූ සෝනියා ගාන්ධි, 1987 වසරේදී ඉන්දු-ලංකා සාම ගිවිසුමට අත්සන් තැබීම සඳහා එවකට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වූ සිය සැමියා රජීව් ගාන්ධි සමඟ කොළඹට පැමිණි සංචාරය සිහිපත් කර තිබේ. එම සංචාරය අවසානයේ පැවති ගෞරව සම්මාන මුරය අතරතුර නාවික භටයෙකු විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය නායකයා අනූනවයෙන් දිවි ගලවා ගත් ආකාරය ඇය එහි විස්තර කර ඇත.

ගිවිසුමට අත්සන් තැබීමෙන් සහ නිල කටයුතු අවසන් වීමෙන් පසු, රජීව් ගාන්ධි සම්ප්‍රදායික සමුගැනීමේ ගෞරව සම්මාන මුරය නිරීක්ෂණය කිරීම සඳහා ඉදිරියට ගිය බව සෝනියා ගාන්ධි සඳහන් කරයි. “ඔහු පෙළ දිගේ ඇවිද යන විට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ භටයෙකු ඉදිරියට පැන සිය රයිෆලයේ බඳ කොටසින් ඔහුගේ හිසට මුළු වෙර යොදා පහරක් එල්ල කළා. එම පහර ඉලක්කය වැරදී ගියේ රජීව් ඇස් කොනින් එම පහර එල්ල වන ආකාරය දැක ඉවතට වූ නිසා පමණයි” ඇය ලියා තිබේ.

සෝනියා ගාන්ධි ඒ මොහොතේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, ඔහුගේ බිරිඳ සහ අනෙකුත් නිලධාරීන් සමඟ සිටගෙන සිට ඇති අතර, එහි යම් කලබලයක් සිදුවන බව දුටුවද සිදුවන්නේ කුමක්දැයි ඇයට හරියටම වටහා ගැනීමට නොහැකි වී තිබේ. “මම රජීව් වෙත දිවයෑමට ඉදිරියට අඩියක් තැබුවත්, උත්සවයක් පැවැත්වෙමින් තිබෙන බව පවසමින් මාව වළක්වනු ලැබුවා. මා අසලම සිටි ජනාධිපති ජයවර්ධනගෙන් මම සිදුවන්නේ කුමක්දැයි විමසුවා. ඔහු ඒ පිළිබඳව කනස්සල්ලට පත්ව සිටි නමුත්, සමහරවිට භටයෙකු විඩාව නිසා ක්ලාන්ත වී ඇද වැටෙන්නට ඇතැයි පිළිතුරු දුන්නා.”

සිද්ධියෙන් පසුවද පිටත්වීමේ නිල කටයුතු අඛණ්ඩව සිදුවී ඇති අතර, සිදුවූයේ කුමක්දැයි රජීව් ඇයට පැහැදිලි කර ඇත්තේ දෙදෙනා ගුවන් යානයට ගොඩවූ පසුව පමණි. “ඔහු වෛද්‍යවරයා ඉදිරියේ සිය ජැකට්ටුව සහ කමිසය ගලවා ගැනීමට අපහසුවෙන් උත්සාහ කරන විට, ඔහුගේ උරහිසේ විශාල තැල්මක් සහ ඉදිමුමක් තිබෙනු මම දුටුවා. ඔහු දින ගණනාවක් වේදනා නාශක ලබා ගත්තත්, එම පහර ඉතා දරුණු එකක් වූ නිසා, වේදනාව අඩු වුවත් ඔහුගේ ජීවිතයේ අවසානය දක්වාම එය පැවතුණා” යනුවෙන් සෝනියා ගාන්ධි සඳහන් කරයි.