November 19, 2026

කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ ගින්නක් හටගත්තද, සිය පරිපාලන සහ කාර්යාලයීය කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදුවන බව එම දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි මධ්‍යම වායු සමීකරණ පද්ධතියේ ඇති වූ සුළු ගින්නක් මෙම සිදුවීමට හේතු වී ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, එමගින් දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් සිදුවී නොමැති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට යොදවා තිබිණි.

සිය සේවාවන් සහ පරිපාලන කටයුතු කිසිදු බාධාවකින් තොරව ඉදිරියටත් පවත්වාගෙන යන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සහතික වෙයි.