November 17, 2026

දැඩි ආරක්ෂාවක් යටතේ පවතින, තවමත් මෙහෙයුම් කටයුතු ආරම්භ කර නොමැති දඹුල්ල උෂ්ණත්ව පාලිත ශීත ගබඩා සංකීර්ණයේ යන්ත්‍ර සූත්‍රවල සවිකර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා තඹ බට කිසියම් පිරිසක් විසින් කපා සොරාගෙන ගොස් ඇති බව දඹුල්ල පොලීසිය පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් 2025 වසරේ අප්‍රේල් මාසයේදී මෙම එළවළු හා පලතුරු ශීත ගබඩා සංකීර්ණය විවෘත කෙරුණද, එය මේ දක්වාත් වසා දමා තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම ගොඩනැගිල්ල සඳහා ආහාර දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික හා අභ්‍යන්තර ආරක්ෂක නිලධාරීන් පවා යොදවා බාහිර පුද්ගලයින්ට ඇතුළු වීමට නොහැකි වන සේ දැඩි රැකවල් යොදා තිබිණි. එවැනි පසුබිමක් තුළ මෙම සොරකම සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආහාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් දඹුල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර සඳහන් කළේ, සොරකම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති නමුත් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. එමෙන්ම සිදුව ඇති සමස්ත අලාභය මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ආහාර දෙපාර්තමේන්තුව මගින් ද සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, 16 වැනිදා උදෑසන ආහාර කොමසාරිස් ලාල් හේවාපතිරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ සිටියහ.

එහිදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී ආහාර කොමසාරිස්වරයා කියා සිටියේ, පොලීසිය මගින් තොරතුරු ලබා දී තිබෙන්නේ නම් වැඩිදුර තොරතුරු ද පොලීසියෙන්ම විමසා දැනගන්නා ලෙසයි.(ලංකාදීප)