November 17, 2026

මාතර, වල්ගම උතුර ප්‍රදේශයේදී සිය වැඩිමහල් සොහොයුරා එල්ල කළ කඩු පහරකින් 39 හැවිරිදි වියේ පසුවූ යුද හමුදා නිලධාරියකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ අද අලුයම නිවසක් තුළදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

සොහොයුරන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර, එහිදී වැඩිමහල් සොහොයුරා විසින් යුද හමුදා නිලධාරියාට කඩුවකින් පහර දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වල්ගම උතුර ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර, පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකකාර වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.