November 17, 2026

වන අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ වන සතුන්ට එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුමට සමගාමීව මහකනදරාව ආශ්‍රිතව සිදුකළ විශේෂ මෙහෙයුමකදී එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක්, හක්කපටස්, පතොරම් සහ වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගන්නා මදු රැසක් සොයාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

මහකනදරාව, මරදන්කල්ල, කරඩික්කුලම, මහකිරින්දේගම, මිහින්තලය අභයභූමිය සහ පුංචිකුලම යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම මෙහෙයුම සඳහා 212 වන පාබල බලසේනාවට අයත් 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය ප්‍රධාන දායකත්වය ලබා දී තිබේ.

21 වැනි පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමින්ද සිල්වාගේ සහ 212 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුරංග බස්නායකගේ අධීක්ෂණය යටතේ, 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් අබේවික්‍රමගේ මෙහෙයවීමෙන් සහ බලඝණාධිපති මේජර් දිමුතු මුල්ලේවිදාන මහතාගේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සංවිධානය කර තිබිණි.

මෙම මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීන් 07 දෙනකු සහ සෙසු නිලයන් 68 දෙනකු ඇතුළුව 75 දෙනකුගෙන් සමන්විත යුද හමුදා කණ්ඩායමක් එක්ව සිටියහ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර ඇතුළු තිරප්පනේ බීට්ටු වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරීහු ද, පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් උපදේශක රවීන්ද්‍ර කාරියවසම් ද මෙම මෙහෙයුමට එක්ව සිටියහ.

මහජන ආදරයට පාත්‍ර වූ ‘අග්බෝ’ හස්තියා ඇතුළු වන අලි ඇතුන් රැසක් නිරන්තරයෙන් සැරිසරන මෙම කලාපය, වනජීවී අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබේ.