November 8, 2026

අනුරාධපුර රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පූජනීය භූමියෙන් ඉවත් වන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබියදීත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් තවදුරටත් සත්‍යග්‍රහ ව්‍යාපාරයේ නිරත වී සිටිති.

අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු බෞද්ධ භික්ෂූන් සහ ගිහි පිරිසක් විසින් ඊයේ (07) අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල ‘දන්සල්’ පරිශ්‍රයේදී මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කරන ලදී.

සත්‍යග්‍රහයේ නිරත පිරිස ඊයේ පස්වරුවේ අදාළ ස්ථානයේ තාවකාලික ඉදිකිරීමක් කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම පිරිස සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.

අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව, රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවට පූජනීය භූමියෙන් ඉවත් වන ලෙස අධිකරණය විසින් විරෝධතාකරුවන්ට නියෝග කරන ලදී.

පූජනීය භූමිය තුළ පිහිටි පුරාවිද්‍යාත්මක ස්මාරකවලට කිසිදු හානියක් නොකළ යුතු බවටත්, එම ස්ථානයේ ඉදිකර ඇති තාවකාලික ඉදිකිරීම් ඉවත්කරන ලෙසටත් අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

කෙසේවෙතත්, බෞද්ධ භික්ෂූන් ඇතුළු විරෝධතාකරුවන් පිරිස එම ස්ථානයෙන් ඉවත් නොවී රැඳී සිටිමින් රාත්‍රියද එතැනම ගතකර ඇත.

අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් නිවේදනය රජය විසින් අහෝසි කරන තෙක් මෙම විරෝධතාව තවදුරටත් ඉදිරියට ගෙන යන බව බලංගොඩ කස්සප භික්ෂුව වැඩිදුරටත් සඳහන් කළේය.