November 7, 2026

පොළොන්නරුව රෝහලට අනුයුක්තව සේවය කළ 50 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයකු (ශල්‍ය වෛද්‍ය) සිකුරාදා (06) මින්නේරිය ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ මාර්ග අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසියට අනුව, මෙම අනතුර සවස කාලයේදී පොළොන්නරුව-හබරණ මාර්ගයේ 39 වන කිලෝමීටර කණුව ආසන්නයේදී සිදුව ඇත.

මින්නේරිය දෙස සිට හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථය, ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් රියදුරන් දෙදෙනාම තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහලට ඇතුළත් කරන විටත් මෝටර් රථයේ රියදුරු මියගොස් සිටි බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව, ඇතුළුනුවර පදිංචිව සිටි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකි.

ටිපර් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරුකර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.